ප්‍රසන්නට එරෙහි නඩුව 25දා අසයි | දිනමිණ

ප්‍රසන්නට එරෙහි නඩුව 25දා අසයි

රෝෂන් තුෂාර

කොළොන්නාව ප්‍රදේශයේ ඉඩමක් නිරවුල් කරදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින හිටපු බස්නාහිර පළාත් මහ ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 25 දින යළි සිදු කිරීමට කොළඹ මහාධිකරණය පෙරේදා (14) නියෝග කළේය.

බස්නාහිර පළාත් මහ ඇමැතිව සිටියදී ඉඩමක් නිරවුල්කර ලබාදීම සඳහා ව්‍යාපාරික ජෙහාඩ් මෙන්ඩිස් නමැති පැමිණිලිකරුගෙන් රුපියල් මිලියන 64ක් ලබාගෙන විශ්වාසය කඩකිරීමට එරෙහිව අධි චෝදනා 15ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ මොරින් ස්ටෙලා රණතුංග, ව්‍යාපාරික හර්ෂ කුමාර් යන විත්තිකරුවන්ට අධි චෝදනා ගොනුකර ඇති අතර හර්ෂ කුමාර් නොමැතිව නඩුව විභාගයට ගැනේ.පැමිණිලිකාර ජෙහාඩ් මෙන්ඩිස් මහතාගේ සිලිකොන් ටෙක්නොලජි සමාගමේ සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජනරාල් විමල් ප්‍රනාන්දු මහතා පෙරේදා (14දා) අධිකරණයේ සාක්ෂි ලබාදුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ සාක්ෂි විමසීම සිදු කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සාක්ෂි මෙහෙයවීය.පැමිණිලිකරු බියගන්වා අවස්ථා පහකදී චෙක්පත් මගින් මෙම මුදල් ලබාගැනීමට විත්තිකරුවන් ක්‍රියාකර ඇති බවට නීතිපතිවරයා චෝදනා ගොනුකර ඇත.

2015 අප්‍රේල් 10, මැයි 07 හා ජූනි 02 දිනයන්හි හෝ එම කාලය අතරතුරදී විත්තිකරුවන් විසින් මෙම වරදවල් සිදුකර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.

නඩුවේ සාක්ෂිකරුවන් 65ක් නම්කර ඇති අතර 50 වැනි සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීම මාර්තු 25 දින සිදුකිරීමට නියමිතය.

නව අදහස දක්වන්න