දිවයින පුරා නව ජීවනෝපාය ව්‍යාපෘති 50,000 ක වැඩ ඇරැඹේ | දිනමිණ

දිවයින පුරා නව ජීවනෝපාය ව්‍යාපෘති 50,000 ක වැඩ ඇරැඹේ

සමෘද්ධි ප්‍රතිලාභීන් වෙතින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති 50,000 තුළින් ඩොලර් මිලියන 5000 ක් උපයා ගැනීමට හැකියාව ලැබෙන බවත්, මෙමඟින් 1,385,516 ක සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමට අවස්ථාව ලැබෙන බවත් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ව්‍යාපෘති 50,000 ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ පසුගියදා (14) සිය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවට සහභාගි වෙමිනි.

දිවයිනෙහි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිද්දෙන් සමෘද්ධි ප්‍රතිලාභීන් හරහා නව ජීවනෝපාය ව්‍යාපෘති 50,000 ක් කඩිනමින් ආරම්භ කිරීමට අමාත්‍යවරයා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී ඇත.

සත්ත්ව පාලනය, ධීවර, කෘෂිකර්මාන්තය සේම කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදන හා අලෙවි කටයුතු මෙම ජීවනෝපාය ව්‍යාපෘති තුළින් ආවරණය වේ.

අපනයන ආදායම වැඩි කළ හැක්කේ අගයදාමය වැඩි කිරීම තුළින් පමණක් බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා නිෂ්පාදනය වැඩි කරමින් රටේ ආදායම් උත්පාදනය වැඩි කළ යුතු බව කළ යුතු බව ද පැවසීය.

ව්‍යාපෘති 50,000 කඩිනමින් ජනතාව අතරට ගෙන යාම සඳහා අමාත්‍යාංශය සතුව 28,500 ක පමණ සේවක බළකායක් සිටින බවත් විවිධ අමාත්‍යාංශ යටතේ ඇති ආයතන හරහා මෙම වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ඉටුකළ හැකි බවත් සඳහන් කළ අමාත්‍යවරයා සියලු සහාය සේවා රාජ්‍ය ආයතනයන්හි අදහස්, යෝජනා හා නිර්මාණශීලී හැකියාවන් මෙම වැඩපිළිවෙළට දායක විය යුතු යැයි පැවසීය.

තාක්ෂණය, පුහුණුව, තත්ත්ව කළමනාකරණය සහ සම්පත් දායකත්වය නිසි ලෙසින් ඒකරාශී කර ගනිමින් රජයට සැලකිය යුතු වැඩ කොටසක් ඉදිරි කාලය තුළදී ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් ලබන අතරතුරදී ඔබ විසින් අප අමාත්‍යාංශය වෙත විශේෂ ව්‍යාපෘති වාර්තා ලබා දෙන්නේ නම් ඊට ප්‍රසාද දීමනාවක් ලබාදීමට ද අමාත්‍යවරයා මෙහිදී අදහස් කළා.

අපනයන ගම්මාන 5000 වැඩසටහන සේම දිවයින පුරා කෘෂි අධි කලාප 23 ක් ඇතිකිරීමේ වැඩකටයුතු සාර්ථක ලෙස ඉදිරියට ඇදෙයි.

සාම්ප්‍රදායික රාජ්‍ය සේවකයෙකුගේ මානසිකත්වයෙන් මිදී ක්‍රියාශීලී හා නිර්මාණාත්මක ජනතා හිතවාදී රාජ්‍ය සේවකයෙකු වී සමස්ත සමෘද්ධි ප්‍රතිලාභීන් දරිද්‍රතාවයෙන් මුදාගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පිහිටුවා ඇති කුඩා කණ්ඩායම් 494,914 ක්, ප්‍රජා මූල සංවිධාන 30,211 ක්, ප්‍රජා මූල බැංකු 1073 ක්, ප්‍රජා මූල බැංකු සමිති 331 ක්, ව්‍යවසායකයින් 25000 ක්, ප්‍රාදේශීය සංවිධාන 331 ක් සේම දිස්ත්‍රික් සංවිධාන 25 ක් ක්‍රියාත්මක බව මෙහිදී අමාත්‍යවරයා කීය. දිවයිනෙහි පිහිටි සමෘද්ධි බැංකුවල සාමාජිකයින්ගේ සංඛ්‍යාව 3,937,043 ක් වන බව ද අමාත්‍යවරයා පැවසීය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, NERD ආයතනය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, කර්මාන්ත අමාත්‍යාංශය, පේෂකර්ම දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, පොල් සංවර්ධන මණ්ඩලය, පොල් වගාකිරීමේ මණ්ඩලය, කප්රුක යන ආයතනයන්හි ප්‍රධානීන් මෙම විශේෂ සාකච්ඡාවට එක්විය.

නව අදහස දක්වන්න