රත්නපුර - කෑගල්ල දිස්ත්‍රික්කවලට ‘මහජන සෞඛ්‍ය පරීක්ෂණ ආයතනයක්’ | දිනමිණ

රත්නපුර - කෑගල්ල දිස්ත්‍රික්කවලට ‘මහජන සෞඛ්‍ය පරීක්ෂණ ආයතනයක්’

රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පානීය ජලය සහ ආහාර පාන පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂණ ආයතනයක් ඉදිරි දෙසතිය තුළ විවෘත කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පසුගියදා පැවසීය.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ (13) රත්නපුර ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවති පළාත් පාලන හා සෞඛ්‍ය නිලධාරීන්ගේ හමුවට එක්වෙමිනි.

මේ පිළිබඳව අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.

පානීය ජලය සහ ආහාර සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිවී තිබෙන මතවාදය ඉතා අර්බුදකාරීයි.

මහ මඟ කඩ සාප්පු, සෙසු වෙළඳසැල්, හෝටල් ඇතුළු ආහාර අලෙවිකරන සමස්ත වෙළඳ ක්ෂේත්‍රය පිළිබඳව සමාජය දකින්නේ සැක සහිතවයි.

එම සැකයට පිළිතුරු සෙවීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂණ ආයතන මහා පිටිවහලක් වේවි.

මා වෙත සබරගමුව පළාත් මහජන පරීක්ෂකවරු ලබාදුන් දත්ත අනුව, සබරගමුව පළාතේ සමස්ත පාසැල් වලින් සියයට අනූවකට සපයා ඇති ජලය පානය කිරීම සඳහා නුසුදුසුයි.

මීට පිළියමක් ලෙස ඉදිරි දෙසතිය තුළ පළාතේ, ඕනෑම පුරවැසියෙකුට, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල පානීය ජලයේ තත්ත්වය පිළිබඳව විද්‍යාත්මක වාර්තා ලබාගැනීමට මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂණ ආයතන හරහා අවස්ථාව හිමිවෙනවා.

එමෙන්ම, සබරගමුව පළාතේ පාසැල් දරුදැරියන් සඳහා ඉතාම කඩිනමින් පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීමට කටයුතු කරනවා.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ආහාර සම්පාදනය කරන ඇතැම් ස්ථාන පිළිබඳව ද විවිධ චෝදනා සහ විවේචන පවතිනවා.

ඉදිරි දෙසතිය තුළ ආරම්භ කිරීමට නියමිත මහජන සෞඛ්‍ය පරීක්ෂණ ආයතන මඟින් ආහාර පරීක්ෂණයට අදාළව පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා යම් කෙටි කාලයක් ගතවේවි. ඒ එම ක්ෂේත්‍රයට අදාළව භෞතික හා මානව සම්පත් සම්පාදනය සහ තාක්ෂණික ගැටලු කිහිපයක් නිසයි.

නමුත් ඊට අදාළ පියවරයන් ලබාගෙන ආහාර පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් ඩී. එම්. මාලිනී, ආණ්ඩුකාර ලේකම් හේරත් පී. කුලරත්න සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න