කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය සිසු අයිතියට | දිනමිණ

කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය සිසු අයිතියට

කුරුණෑගල මගුරුඔය වත්තේ අභිනවයෙන් ඉදි කරන ලද විශ්වෝදා විද්‍යාලය සිසු අයිතියට පත් කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගියදා (13) සිදුවිය.

ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්කවලින් එකක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල්වලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව ද සාපේක්ෂව ඉහළ අගයක් ගනී. එහෙත් පවතින ඉල්ලුම සපුරාලීමට දැනට තිබෙන පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගුරුඔයවත්ත ප්‍රදේශයේ මෙම විශ්වෝදා විද්‍යාලය අලුතින් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

නගරාසන්නයේ පිහිටා ඇති පහසුකම් සහිත පාසල් අතළොස්සක් වෙත දරුවන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ රට පුරා පවතින තරගය හේතුවෙන් මතුව ඇති අර්බුදයට සාධාරණවූත්, ප්‍රායෝගිකවූත් විසඳුමක් ලෙස, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව, 'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහන යටතේ මෙම පාසල ඉදිකර ඇත.

වඩාත් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලු පාසල් පහසුකම් සහිත පාසල් බවට පත්කිරීම වෙනුවෙන් ඉතිහාසයේ එදාමෙදාතුර ක්‍රියාවට නැංවෙන විශාලත ම සංවර්ධන වැඩසටහන වන්නේ 'ළගම පාසල හොදම පාසල' වැඩසටහනයි. මේ යටතේ දැනට පවත්නා පාසල් භෞතික හා මානව සම්පත්වලින් සංවර්ධනය කිරීම මෙන් ම ශ්‍රී ලංකාවේ ජනඝනත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පහසුකම් සපිරි ජාතික පාසල් අලුතින් ඉදිකිරීමට ද පියවර ගෙන තිබේ. විශ්වෝදා විද්‍යාලය ඒ යටතේ අභිනවයෙන් ඉදිකෙරුණු පළමු අංග සම්පූර්ණ පාසල වේ.

ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් හිතකාමී පරිසරයක ඉදිකර ඇති විශ්වෝදා විද්‍යාලය, අංගසම්පූර්ණ සහ අති නවීන පන්ති කාමර සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, සුහුරු පන්ති කාමර (Smart Class Room) ශ්‍රවණාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, විදුහල්පති හා ගුරු නිවාස, ආපන ශාලා ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත ය.

කුරුණෑගල මගුරුඔය වත්ත විශ්වෝදා විද්‍යාලය විවෘත කිරීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම විද්‍යාලයේ ස්ථාපිත කර ඇති සුහුරු පන්ති කාමරයක ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන අන්දම නිරීක්ෂණය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ, අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතවරු රැසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූපය- රංජිත් අසංක


නව අදහස දක්වන්න