ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කර එජාපය විශාල පරිවර්තනයක් සිදුකරනවා | දිනමිණ

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කර එජාපය විශාල පරිවර්තනයක් සිදුකරනවා

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කර රටේ විශාල පරිවර්තනයක් ඇති කරන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව මැතිවරණ කොට්ඨාශයේ ග්‍රාමීය මාර්ග කිහිපයක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා,

එක්සත් ජාතික පක්ෂය හැමදාමත් සේවය කලේ රට සහ ජනතාව ගැන හිතලායි. මේ රටට වැඩිම සේවයක් කළ පක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂය ජනතාව විශ්වාස කරන මතවාදය අනුව කටයුතු කරනවා. පසුගිය කාලයේ ඇති කළ වෙනසටත් නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

2015 වනතුරු මේ රටේ තිබුණේ තට්ටු මාරු පාලන ක්‍රමයක්. පක්ෂ දේශපාලනය කරමින් අවුරුදු 5න් පහට ආණ්ඩු මාරු වුණා. නායකයින් මාරු වුණා. නමුත් රට වෙනස් වුණේ නැහැ. මේ රට හැමදාමත් දියුණුවෙමින් පවතින රටක් විදියටයි තිබෙන්නේ. දුප්පත් ජනතාව හැමදාමත් දුප්පත්. එක කල්ලියක් විතරයි පෝෂණය වුණේ. සහන ගත්තේ, ප්‍රතිලාභ ගත්තේ පවුලේ අයයි ගජ මිතුරු කණ්ඩායමයි විතරයි. අපි රටට වෙනසක් ඇති කළේ එක පන්තියක් විතරක් ගොඩ නඟන්න නොවේ. එක්සත් ජාතික පක්ෂය මුල් වෙලා අවශ්‍ය මොහොතේ වෙනසක් ඇති කළේ ජනතාව වෙනුවෙන්. කොට්ටය විතරක් මාරු නොකර කොට්ටෙයි මෙට්ටයයි දෙකම මාරු කළා. ජනතාවගේ ලේ උරා බොන මකුණෝ ටික නැති කරන්න මෙට්ටය මාරු කළා.

ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබාගන්න බැරි විපක්ෂයේ අය පස්ස දොරෙන් හරි බලය ලබාගන්න උත්සාහ කළා. නමුත් රටේ ජනතාව බලය ලබාගන්න ඉඩ දුන්නේ නැහැ. අපි ජනතාව සමඟ එක්ව නීත්‍යනුකූලව කටයුතු කර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගත්තා. රට වෙනුවෙන්, ප්‍රතිපත්තියක් වෙනුවෙන් සියලු දෙනා එක පෙළට හිටගත්තා. ප්‍රතිවාදීන් මේ රජයට චෝදනා කරන විදිය ගැන ඇති වෙන්නේ ලැජ්ජාවක් සහ පිළිකුළක්. මොකද විපක්ෂයේ අය ආණ්ඩු බලය තියෙනකොට හැසිරුණු විදිය මුළු රටම දැක්කා. ඒකාධිපති යකඩ සපත්තුවට ජනතාව පාගලා දැම්මා.

දැන් කතා කරන්නේ හරියට හතර පෝයට සිල් ගන්නවා වගේ. අද ශුද්ධවන්තයෝ වගේ කතා කරලා ආපහු බලය ඉල්ලනවා. බලය තියෙනකොට ජනතා ප්‍රශ්න විසඳුවේ නැහැ. ජනතාවට ඇහුම්කන් දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ වසර 10ක් රට පාලනය කළත් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදුන්නේ නැහැ. ආපහු පස්ස දොරෙන් ආවා කියලා ප්‍රශ්න විසඳන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය රටේ යහපාලනය ඇති කරන්න නායකත්වය දීලා මේ රටේ සියලු දෙනාට සමානාත්මතාවයෙන් ජීවත්වීමට අවස්ථාව ලබා දුන්නා. නමුත් විපක්ෂයේ අය පළාත් පාලන බලය තියාගෙන පළාත් සභාවේ සම්පත් ටික ප්‍රධාන රජය සමඟ එක්ව ජනතාවට ලබා දෙන්නට සූදානම් නැහැ. යහපාලනය ආණ්ඩුවට විතරක් නොවේ. පළාත් සභාව, ප්‍රාදේශිය සභාවට ගමන් කර භේදයක් නැති සේවයක් සියලු ජනතාවට ලබාදීමට කැප විය යුතුයි. 2019 මැතිවරණ වර්ෂයක්. ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් රටේ දියුණුව වෙනුවෙන් පූර්ණ කාලීනව සේවය කිරීමට ඇප-කැප වෙනවා යැයි ද පැවැසීය.

මෙම අවස්ථාවට පළාත් සභා හා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න