මුදල් සොයාගත් හැටි දැනගන්න වුවමනා නම් ප්‍රසිද්ධ විවාදයකට එන්න | දිනමිණ

මුදල් සොයාගත් හැටි දැනගන්න වුවමනා නම් ප්‍රසිද්ධ විවාදයකට එන්න

ධනුෂ්ක ගොඩකුඹුර

නිමි ඇඳුම් ව්‍යාපාරයට තමන් මුදල් සොයා ගත් හැටි දැනගන්නට වුවමනා නම් සමාජ මාධ්‍ය සහ ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍ය යොදාගෙන මඩ නොගසා ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා අභියෝග කරයි.

නිරෝෂන් ප්‍රේමරත්න මහතා මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා මෙසේ ද සඳහන් කළේය.

මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය මගින් හා ඇතැම් ජනමාධ්‍ය යොදා ගනිමින් දේශපාලන පක්‍ෂවලට අයත් පිරිස් විසින්ද මට විවිධ අවලාද නඟනවා. බොහෝ අවලාද එල්ල වන්නේ මා විසින් තලවතුගොඩ පවත්වා ගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙනුයි. ‘නිරෝෂන්පේ‍්‍රමරත්න පර්චසය මිලියන 2.2 බැගින් තලවතුගොඩින් ඉඩමක් අරගෙන, බිල්ඩිමක් හදලා ව්‍යාපාරයක් කරගෙන යනවා. එහි වටිනාකම කෝටි 08ක් පමණ වෙනවා.

මම මේ ව්‍යාපාරය කරන්න කුඩුකාරයන්ගෙන් හෝ පාතාලකාරයන්ගෙන් සත පහක්වත් අරගෙන නැහැ. මේ ව්‍යාපාරය කිරීමට මම ගොඩනැගිල්ලක් ගත්තේ කුලියට. ඕස්ට්‍රේලියාවේ සිටින වෛද්‍යවරයකුට අයත් ගොඩනැගිල්ලක් තමයි මම කුලියට ගත්තේ. 2017 සැප්තැම්බර් මාසයේ සිටයි එය කුලියට ගත්තේ. නමුත් මාස 06ක් එනම් 2018 මාර්තු තෙක් මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකිව සිටියා. මුදල් නොමැතිකම නිසා. පසුව මම ලංකා බැංකුව සමඟ කතා කරලා කෝටි 03ක ණය මුදලක් ඉල්ලූම් කළා. එතැනදීත් බොහෝ පිරිස් කීවේ මම කෝටි 08ක ණය මුදලක් අරගෙන තිබෙන බවයි. මේ ණය මුදල ලබා ගන්න ඇපයට තබන්න දේපළක් අවශ්‍ය වුණා. එවිට තලවතුගොඩ සිටින මගේ සංගීත් නමැති මිතුරා ඔහුට අයත් ඉඩමක් ඇපයට තැබීම සඳහා මට ලබාදුන්නා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ කෝටි 03ක ණය මුදල අරගෙන මම 2018 මාර්තු මාසයේ සිට මේ ව්‍යාපාරය ආරම්භ කළා.

කෙසේ වෙතත් 2018 මාර්තු පටන් ගත්තු ව්‍යාපාරය 2018 මැයි මාසය වන විට පාඩු ලබන තත්ත්වයට පත්වුණා. ගොඩනැගිල්ලේ මාසික කුලිය ගෙවීමට නොහැකි වුණා. ඒ මුදල ‘කීමනී’වලින් අඩුකර ගැනීමට ගොඩනැගිල්ල අයිති අය කටයුතු කළා. සැපයුම්කරුවන්ට නිසි කලට මුදල් ගෙවීමට බැරිවුණා. බැංකු වාරිකය යන්තමට ගෙවා ගත්තා. අද වන විට මේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට බැරි තත්ත්වයක් තමයි තිබෙන්නේ. ගොඩනැගිල්ල හිමිකාර වෛද්‍යවරයාගේ නීතිඥ මහතා දැනටමත් දැනුම් දී තිබෙනවා ‘2019 පෙබරවාරි 28 වැනිදා වන විට ගොඩනැගිල්ලෙන් ඉවත්වෙන්න කියා. නමුත් වෛද්‍යවරයා පසුව දුරකථනය මගින් කතාකර පැවසුවා‘කමක් නැහැ මාර්තු 31 වැනිදා වන තෙක් සිටින්න කියා. එවිට මම වෙද්‍යවරයාගෙන් ඉල්ලූවා හැකි නම් මට මේ ගොඩනැගිල්ලේ අපේ‍්‍රල් මාසය තෙක් ඉන්න ඉඩදෙන්න. අපේ‍්‍රල් උත්සව සමයේ දැනට පවතින භාණ්ඩ තොග විකුණලා සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති මුදල් ගෙවීමට හෝ ඉඩ ලබාදෙන්න කියලා.


නව අදහස දක්වන්න