ධීවර බෝට්ටු යොදාගෙන මිනිස් ජාවාරම් කිරීම වළකන නීති එයි | දිනමිණ

ධීවර බෝට්ටු යොදාගෙන මිනිස් ජාවාරම් කිරීම වළකන නීති එයි

බුද්ධිකා ඉඹුලාන

මිනිස් ජාවාරම සඳහා ධිවර බෝට්ටු යොදාගැනීම නැවැත්වීමට නව නීතිගෙන එන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා කියයි. මෙම තත්වය පාලනය කිරීමට අවශ්‍ය වුවහොත් දැඩි දඬුවම් පැමිණවීමටද පසුබට නොවන බවද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.

මිනිස් ජාවාරම සඳහා ධීවර බෝට්ටු යොදාගැනීම හේතුවෙන් බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ජාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (13දා) පැවැත්විණ.

මෙම සාකච්ජාව පැවැත්වුනේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය ඇමැති කාර්යාලයේදීය. මේ සදහා බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්, ධීවර කාර්මිකයින් ඇතුළු 50 දෙනෙකු පමණ එක්ව සිටියහ. සාකච්ජාවට එක්වූ බහුදින ධීවර යාත්‍රා හිමි කරුවන් පැවසුවේ මෙම මිනිස් ජාවාරම රටට මෙන්ම සමස්ථ ධිවර කර්මාන්තයට විශාල ගැටලු මතුකරන බවය. මෙය රටට විශාල අපකීර්තියක් ගෙන දෙන්නක් බවද ඔවුහු පැවසුහ.

බුද්ධි අංශ සහ ආරක්‍ෂක මුරකාවල් මග හැර මෙලෙස මිනිස් ජාවාරම බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම පිටුපස අදිසි හස්තයක් ඇතැයි සැකකරන බව සදහන් කල බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් ඇතුළු පිරිස ඉල්ලා සිටියේ වහා රජය මැදිහත් වී මෙම ජාවාරම පාලනය කරන ලෙසය. මෙය ඉතා බරපතළ තත්වයක් බැවින් ඒ පිලිබදව දැඩි අවධානය යොමුකර නීතිපතිවරයා ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්ව සමග කඩිනමින් සාකච්ජා කර ස්ථිර විසදුමක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.

ඇමැතිවරයා පැවසුවේ මෙම තත්වය පාලනය කිරීමට අවශ්‍ය වුවහොත් දැඩි දඩුවම් පැමිණවීමට මෙන්ම නව නීති හඳුන්වා දී, නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට රජයක් ලෙසත් ධිවර ජනතාවගේ අනාගතය මෙන්ම රට ගැන සිතා කටයුතු කරන බවය.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලිසිය, නාවික හමුදාව ඇතුළු වගකිවයුතු ආයතන සහ ධිවර දෙපාර්තමේන්තුව ඇතුළු ධිවර අමාත්‍යංශයේ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ජාවක් කැදවා නිසි පියවර ගැනීමට මෙහිදී තීරණය කළ රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා ඒ සදහා බහුදින ධිවර යාත්‍රා හිමියන්ටද ආරාධනය කළේය.

නව අදහස දක්වන්න