නාගයන් සමඟ එකට නිදන කාජල් | දිනමිණ

නාගයන් සමඟ එකට නිදන කාජල්

කවිඳු වීරරත්න

අපේ අසල්වැසි රට වන ඉන්දියාව විවිධ ආගම් අදහන විවිධ කුලවලට අයිති ජනතාවක් වෙසෙන රටක්. මේ නිසාම ඔවුන් අතරින් දිනපතාම පාහේ අපූරු පුවත් වාර්තා වනවා. අද අප අතැඹුල විශේෂාංගයෙන් කියන්නට යන්නේ එවන් අපූර්ව එහෙත් අසන්නට පවා බය සිතෙන සමහරකුට පිළිකුල දනවන පුවතක්. සාමාන්‍යයෙන් අපේ රටේ පමණක් නොවේ; ලොව බොහෝ රටවල පුංචි දරුවන් සුරතල් සතුන් ලෙස නිවෙස්වල ඇති දැඩි කරන්නේ බල්ලන්, පූසන්, මාළුන්, කුරුල්ලන් සහ හාවුන්ට වැනි අහිංසක අනතුරු රහිත සතුන්. පිරිමි දරුවන්ටත් වඩා ගැහැනු දරුවන් හාවුන් හා පූසන්ට ප්‍රිය කරනවා. එහෙත් ඉන්දියාවේ වෙසෙන එක් කුඩා ගැහැනු ළමයකු නම් තමන්ගේ සුරතලා ලෙස තෝරාගෙන තිබෙන්නේ භයානක සත්ත්වයෙක්. ඒ තමයි රාජ නාගයන් (King Cobra). රාජ නාගයන් කෙසේ වෙතත් නිකම් නාග පැටියකු දුටු විට පවා අපි බියට පත් වූවත් මේ කුඩා දැරිවිය රාජ නාගයන් කිහිප දෙනකුම සුරතලයට ඇතිකරනවා. සාමාන්‍යයෙන් නාගයින් ළඟ තබාගන්නා නයි නටවන මිනිසුන් පවා විස දළ ගලවා ඉවත් කරන ලද නාගයින් තමයි තබාගෙන තිබෙන්නේ. නමුත් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ගතම්පූර් හි ජීවත්වන ‘කාජල් ඛාන්‘ නම් මෙම දරුවා ඇය ළඟ තබාගෙන සිටින්නේ විස දළ ඉවත් නොකරන ලද හීලෑ නොමැති නාගයන් වීම මෙම පුවතේ විස්මය දනවන කරුණයි.

පැටවුන් කාලයේ සිට උස් මහත් කරගන්නා ලද හීලෑ සතුන් වෙනුවට මැය සුරතල් කරන්නේ තම පියා සමඟ කැළෑවට ගොස් අල්ලාගෙන රැගෙන එනු ලබන විශාල නාගයන් පිරිසකි. කාජල්ගේ පියා වෘත්තිය ලෙසින් සර්පයින් අල්ලන පුද්ගලයකු ලෙස කටයුතු කර තිබෙන අතර ඔහුගේ පුත්‍රයා එනම් කාජල්ගේ වැඩිමහල් සහෝදරයා දැන් එම වෘත්තියේ නිරත වේ. කාජල්ට මෙම සර්පයින් සඳහා බිය නොමැති වීම ලැබී තිබෙන්නේ තම පවුලෙන් බවට මෙය කදිම උදාහරණයකි. සුරතලයට ඇති කෙරුවත් මෙම නාගයන් කිහිප විටක්ම මැයට දෂ්ට කර තිබෙනවා. කාජල්ගේ සීයා විසින් සිදු කරන පාරම්පරික රහස් වෙදකමක් නිසා කොතරම් දෂ්ට කරනු ලැබුවත් කාජල් හට දිවි ගලවා ගැනීමට හැකි වී තිබෙනවා. කාජල් දැන් පාසල් ගමන නවතා තිබෙන්නේ ඇය අධ්‍යාපන කටයුතු වලට වඩා තම සුරතලුන්ව බලාගැනීමට තිබෙන ආශාව නිසායි.

රාජ නාගයන් සමඟ තම නිදන යහන පවා බෙදා ගන්නා, තමන්ගේ ආහාර නාගයන්ට ලබා දෙමින් ඔවුන් සමඟ සෙල්ලම් කරනා තමන්ගේ දුව ගැන කාජල්ගේ මවට තිබෙන්නේ තරමක් කනගාටුවකි. ඇය වඩාත්ම බිය වන්නේ දිනෙක කාජල්ව විවාහ කරගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවූවොත් කියායි. මේ වන විටත් මොවුන්ගේ නි‍ෙවසේ නාගයන් සිටින නිසා එම ප්‍රදේශවාසීන් මොවුන්ගේ ‍නි‌ෙවසට පැමිණීමට බිය බව ඇය පවසනවා. දිනක් නාගයන්ව පාසල වෙත රැගෙන ගිය විට කාජල්ව පාසලෙන් එළවා දමා පවා තිබෙනවා. ගම්මානයේ නිවෙස් හා කඩ සාප්පු තුළට පැමිණෙන සර්පයින් අල්ලා කැලෑවට නිදහස් කරමින් ජීවත්වන මෙම පවුල වෙත හිත මිත්‍රයන්ගෙන් අඩුවක් තිබුණත් නාගයන්ගෙන් කිසිම අඩුවක් නැති බව මේ ඡායාරූප වලින් මොනවට පැහැදිලි වෙනවා.

වසරකට ලොව පුරා සර්ප දෂ්ට කිරීම් නිසා පනස්දහසක් පමණ මියයන අතර කාජල් ඇතුළු පවුලේ සැම තමන්ගේ විශේෂ හැකියාවෙන් අනෙකුත් ගම්වාසීන් වෙත කරන්නේ විශාල උපකාරයකි.

  

නව අදහස දක්වන්න