ශ්‍රී ලංකාවට ආශ්චර්යවත් ජයග්‍රහණයක් කුසල් පෙරේරා සුපර් මෑන් වෙයි | දිනමිණ

ශ්‍රී ලංකාවට ආශ්චර්යවත් ජයග්‍රහණයක් කුසල් පෙරේරා සුපර් මෑන් වෙයි

සිය ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදි පෙරේදා නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයෙන් එක් කඩුල්ලට විස්මිත ජයක් ශ්‍රී ලංකා පිලට අත්කර දීමට සමත් විය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ එංගලන්ත පිලට තරග 3-0කින් පරාජය වීමේ සිට මේ දක්වා ටෙස්ට් තරගමාලා 3ක්ම පිට පිට පරාජයට පත්වී සිටි ශ්‍රී ලංකා පිල වැටී සිටි ආගාධයෙන් ගොඩ ගත් කුසල් පෙරේරා නොදැවී ලකුණු 153ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට මේ ජයග්‍රහණය අත්කර දීමත් සමග දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගමාලාව ජයපරාජයෙන් තොරව නිමාකර ගැනීමට හෝ ජයග්‍රහණය කිරීමට අවස්ථාව උදාවී තිබේ.

දකුණු අප්‍රිකාව ලබාදුන් ලකුණු 304ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් එකපෙළට දැවී යද්දී සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ට නොබියව මුහුණදුන් වමතින් පිත්ත හසුරුවන කුසල් පෙරේරා ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල ලකුණු 226දී බිඳ වැටීමෙන් පසුව අවසන් පිතිකරු විශ්ව ප්‍රනාන්දු සමග එක්ව ලකුණු 78ක නොබිඳුණු වාර්තාගත සම්බන්ධතාවක් ද ගොඩනැගුවේය. විශ්ව ප්‍රනාන්දු මිනිත්තු 73ක් කඩුල්ලේ රැඳී සිටිමින් කුසල්ට අනගි සහයෝගයක් ලබාදුන් අතර නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 6කි. මේ ජයග්‍රහණය වාර්තාපොතට එක්වූයේ දකුණු අප්‍රිකානු භූමියේදී ශ්‍රී ලංකා පිල තරග වැදුණු ටෙස්ට් තරග 14කින් ජයගත් දෙවැනි තරගය ලෙසටය. ඊට පෙර ශ්‍රී ලංකාව ජයගෙන තිබූ එකම තරගය පැවත්වූයේ ද ඩර්බන් නුවරදී වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල බිඳ වැටෙද්දී ලකුණු 86ක් ලබා සිටි කුසල් පන්දුවට පහරදීමේ වැඩි අවස්ථාව තමා වෙත රඳවා ගනිමින් නොදැවී ලකුණු 153ක් රැස් කළේ පන්දු 200කිනි. මිනිත්තු 309ක් කඩුල්ලේ රැඳී සිටි හෙතෙම හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින් ජයග්‍රහණය ඉක්මන් කළේය.

පස්වරු තේ පානයට තරගය නතර කිරීමට සුදානම් වූ මොහොතේ දී ශ්‍රී ලංකා පිලේ 9 වැනි කඩුල්ල බිඳ වැටීම නිසා තේ පානයට පෙර තරගය නිමා කිරීමට දකුණු අප්‍රිකානුවන්ට තවත් මිනිත්තු 30ක කාලයක් ලබාදී තිබුණත් ඒ කාලය තුළ ජයග්‍රහණයට ආසන්න වීම නිසා ශ්‍රී ලංකා පිලට අවස්ථාව ලබාදෙමින් තේ පානය තවත් ප්‍රමාද කිරිමට විනිසුරුවන් තීරණය කළහ.

මුළු ලකුණු සංඛ්‍යාව 42දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් යුගලය වන නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 52දීය. අනතුරුව ඕෂධ ප්‍රනාන්දු ලකුණු 37ක් රැස් කරමින් කුසල් පෙරේරා සමග ලකුණු 58ක සම්බන්ධතාවක් ගොඩනැගුවත් මුළු ලකුණු සංඛ්‍යාව 110දී ඕෂධ ප්‍රනාන්දුත්, නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබාත් දැවීයාමෙන් තරගයේ වාසිය දකුණු අප්‍රිකාවන්ට අතට ගියේය. එහෙත් ඉන් පසුව ධනංජය සිල්වා පැමිණ කුසල් සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 96ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඔහු ලකුණු 48ක් රැස් කළ අතර කේෂව් මහරාජ්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙද්දී ශ්‍රී ලංකා පිල ලබා සිටි ලකුණු සංඛ්‍යාව 206කි. ඊළඟ පන්දුවෙන් සුරංග ලක්මාල් ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට මහරාජ් සමත්වූ අතර ලසිත් ඇඹුල්දෙණිය සහ කසුන් රාජිත දැවී ගියේ ලකුණු 11ක ඇතුළතදීය.

කුසල්ගේ සහ විශ්වගේ අවසන් කඩුල්ලේ සම්බන්ධතාව වාර්තාපොතට එක්වූයේ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය දක්වා රැගෙන යාමට අවසන් කඩුල්ලට ගොඩනැගූ ඉහළම සම්බන්ධතාව ලෙසිනි. මීට පෙර 1994 පාකිස්තානයේ කරාච්චි නුවරදී ඉන්සමාම් උල් හක් සහ මුෂ්තාක් අහමඩ් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 57ක අවසන් කඩුල්ලේ සම්බන්ධතාව ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගියහ. එමෙන්ම ටෙස්ට් තරගයක ජයග්‍රහණය හඹා යමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසත් කුසල් ජනිත් වාර්තාපොතට එක්විය.

දෙවැනි ටෙස්ට් තරගය ලබන 21දා පෝර්ට් එලිසබෙත් නුවරදී ආරම්භ වෙයි.

නව අදහස දක්වන්න