මහනුවර පරදවා හැව්ලොක්ස් පෙරමුණට | දිනමිණ

මහනුවර පරදවා හැව්ලොක්ස් පෙරමුණට

ෆවුස් මොහොමඩ්

තරගයේ පළමු භාගය එහෙම පිටින්ම සිය ආධිපත්‍යයට යටත් කරගත් වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව දෙවැනි භාගයේදී විස්මිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ අවසන් තරගයෙන් ලකුණු 28-26ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් සමස්ත ලකුණු ලැයිස්තුවේ පෙරමුණ අත්කර ගැනීමට සමත්විය.මෙවර තරගාවලියේ පළමු වටයේදි අපරාජිතභාවය රැකගත් මහනුවර පිල දෙවැනි වටයේදී පරාජයට පත්වූ තුන්වැනි තරගය මෙය විය. එමෙන්ම හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී මහනුවර පිල ලීග් රග්බි තරගයකින් පරාජයට පත්වූයේ වසර 7කට පසුව වීම විශේෂත්වයකි.

තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 19-7කින් පෙරමුණ ගෙන සිටි මහනුවර පිල පීඩනයට ඇද දැමූ හැව්ලොක්ස් පිලේ ක්‍රීඩකයන් ලකුණු සංඛ්‍යාව 14 දක්වා ඉහළ දමාගත්තේ රැන්ඩි සිල්වා තැබූ උත්සාහක දිනුමක් රීසා මුබාරක් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙනි. අනතුරුව උමේෂ් මධුෂාන් තැබූ උත්සාහක දිනුමත් ගෝලයක් බවට පත් කරමින් හැව්ලොක්ස් පිල ලකුණු 21-19කින් පෙරමුණට පත් කිරීමට මුබාරක් සමත්වීමත් සමග තරගයේ උණුසුම ඉහළ ගියේය.

ඉන් නොනැවතුණු හැව්ලොක්ස් පිල මිතුන් හපුගොඩ තැබූ අගනා උත්සාහක දිනුම මුබාරක් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව 28-19 දක්වා ඉහළ දමා ගත්තේය. අවසන් මොහොතේ රිචඩ් ධර්මපාල තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීමට තිළිණ විජෙසිංහ සමත්වූවත් මහනුවර පිලට තරගය ජයගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

තරගයේ මුල් භාගයේදී සඳුන් හේරත් තැබූ උත්සාහක දිනුමත් සමග වාර්තාවූ උත්සාහක දිනුම් 4ම ගෝල බවට පත් කිරීමට රීසා මුබාරක් සමත්වූ අතර ගනුක දිසානායක, නයිජල් රත්වත්ත සහ තරිඳු චතුරංග පළමු භාගයේදී තැබූ උත්සාහක දිනුම් අතරින් දෙකක් ගෝල බවට පත් කිරීමට තිළිණ විජේසිංහ සමත්විය.

සී.එච්.පිලට ජය

මේ අතර කොළඹ තුරඟ තරග පිටියේදී යුද හමුදා පිල ලකුණු 24-22කින් පරාජය කිරීමට සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්විය. ලකුණු 17-12කින් පළමු භාගය නිමාවනවිට පෙරමුණ ගෙන සිටි යුද හමුදා පිලට එරෙහිව දෙවැනි භාගයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරතවූ සී.එච්.පිලේ ක්‍රීඩකයන් තරගය ජයගත්තේ අවසන් මිනිත්තු පහකට පෙර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා සැමුවෙල් මධුවන්ත තැබූ අගනා උත්සාහක දිනුමක් ඔහු විසින්ම ගෝලයක් බවට පත් කිරීමෙනි. සී.එච්.පිල තරගය පුරා ගෝල් 2ක් සහ උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර යුද හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුම් 3ක් පමණි.

සී.ආර්.පිල ජය ගනී

ලකුණු 19-7කින් පළමු භාගයේ වාසිය සියතට ගත් ගුවන් හමුදා පිල දෙවැනි භාගයේදී අසරණ කළ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 36-26ක ජයක් වාර්තා කිරීමට සමත්විය. රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැති මේ තරගයේදී ගෝල් 4ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් රැස් කිරීමට සී.ආර්.පිල සමත්වෙද්දී ගුවන් හමුදා පිල ලබාගත්තේ ගෝල් 3ක් සහ උත්සාහක දිනුමක් පමණි.

 

නව අදහස දක්වන්න