ඩර්බන් ජය සමරමින් කුසල්ගෙන්-ලක්මාල්ගෙන් ‘සැර කතාවක්’ | දිනමිණ

ඩර්බන් ජය සමරමින් කුසල්ගෙන්-ලක්මාල්ගෙන් ‘සැර කතාවක්’

ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් තරග ජයග්‍රහණ ඉඩෝරය නිමා කරමින් ඩර්බන් නුවරදී සිය කණ්ඩායමට එක් කඩුල්ලක තියුණු ජයක් ගෙනදුන් ‘සුපර්මෑන්’ පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ සුරංග ලක්මාල් ශ්‍රී ලංකා පිල තරගයෙන් පසුව සිය ජයග්‍රහණය සැමරූ අවස්ථාවේදී කළ ‘සැර කතාව‘ යූ ටියුබ් සමාජ වෙබ් අඩවි ජාලයේ මේ වනවිට වැඩි අවධානයට ලක්වී තිබේ.

‘අපිට ගොඩාක් ප්‍රශ්න තිබ්බා මම කෝච් (පුහුණුකරු චන්දික හතුරුසිංහ) එක්ක කතා කළා. එයා නිදහස දුන්නා අපිට. නමුත් අපිට තවමත් ප්‍රශ්න තියෙනවා. ඒවාත් මං හිතනවා මැනේජර් ගිහින් බෝඩ් එකට කියලා ඒවා හදයි කියලා. අද මම කියනවා කෝච් නිසා තමයි හැමදේම කළේ. මම ගැහුව එකම දේ මට තරහක් තිබ්බා. මං ගැහුවේ කෝච් නිසා. මං කියලා ගියේ කෝච්ට. මට පුළුවන් දේ කරනවා කියලා. මං හිතනවා ටීම් එකක් විදිහට මම වැඩේ කරා කියලා. මේ මැසේජ් එක හැබැයි මෙතැනට නෙවෙයි බෝඩ් එකටයි යන්න ඕන හරිද ?’ කුසල් ජනිත් එසේ කීවේය.

ඉන් අනතුරුව සිය සගයන් ඇමැතූ වේගපන්දු යවන සුරංග ලක්මාල් එම වීඩියෝ පටයේ මෙසේ අදහස් ප්‍රකාශ කර තිබිණි.

‘අපිට ගොඩාක් දේවල් වුණා. අපිට තිබුණේ එකම දේ දිනන්නනේ. එකක් අපට කරලා පෙන්වන්න පුළුවන් අපිට ඕනා දිනන්න. අපිට පීඩනය දැම්මා. අපිට වඩා මං හිතන්නේ හතුරු සර්ට පීඩනය දැම්මා. අපි වෙනුවෙන් සියයට දෙසීයක්ම එයා පෙනි සිටියා. එන ප්‍රශ්න එතැනින් නැවතුණා. අපිට ආවේ නෑ. මම දන්නවා අපිට ආව ගොඩක් ප්‍රශ්න එතැනින් නැවතුණා. එයා අපිට ඒ පීඩනය දුන්නේ නෑ. අද අපි කරලා පෙන්නුවා. අපිට ‍ලොකු දේවල් ඕන නෑ. මේ මැච් එක ගිය විදිහටම අපි යමු. දස්කම් දක්වන්න පුළුවන් නැතිවෙන්න පුළුවන් අපි ටීම් එකක් විදිහට ඉදිරියට යාම වැදගත්. මෙතැන ඉන්න හැමෝම ලොකු සහයෝගයක් දුන්නා. තම තමන් හැමෝම දන්නවා ටීම් එකක් විදිහට ඔගොල්ලෝ කොයිතරම් දුරට සහයෝගයක් ලබාදුන්නද කියලා. ඒ නිසා මං කියන්නේ එකම දෙයයි. අපි ගහන්න ඕන කෝච් වෙනුවෙන්. කෝච්ට තමයි මෙතැන සියයට එකසිය පනහක් පීඩනය එන්නේ.’


නව අදහස දක්වන්න