ජල ක්‍රීඩා ඡන්දයට නිලවරණ කමිටුව පත්වෙයි | දිනමිණ

ජල ක්‍රීඩා ඡන්දයට නිලවරණ කමිටුව පත්වෙයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී නිලවරණ කමිටුව පත් වෙයි. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලී සමරසිංහ මහතා එම කමිටුවේ සභාපතිවන අතර, විශ්‍රාමික රාජ්‍ය නිලධාරී ජයනී පින්නවල මහත්මිය හා ඒ. එච්. අමරදාස මහතා එහි කම්ටු සාමාජිකයන් ලෙස පත්වෙති. ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ලියාපදිංචි සාමාජික සංගම් 26න් 21ක් පසුගියදා පැවැති විශේෂ මහා සභා රැස්වීමට පැමිණ සිටි අතර මේ කමිටුව ඒකමතිකව පත්වීම විශේෂත්වයකි.

මෙදින රේන්බෝ ජල ක්‍රීඩා සමාජය, කොළඹ පිහිනුම් සමාජය, ගම්පහ ජල ක්‍රීඩා සංගමය, පොලිස් පිහිනුම් හා ජීවිතාරක්ෂක සංගමය හා පීටර්රයිට් ජල ක්‍රීඩා සමාජය පැමිණ නැත. ජල ක්‍රීඩා සංගමයේ සියලුම අනුබද්ධ සංගම් වෙත දින 40ක් ඇතුළත නිලවරණ දිනය හා නාම යෝජනා කැඳවීම පිළිබඳ දැනුම්දීම මේ නිලවරණ කමිටුව මගින් ඉදිරි දිනෙක සිදු කරනු ඇත.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නව නිලධාරීන් පත්වූ වහාම ඒ බව ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයට දැනුම්දීමෙන් අනතුරුව දැනට පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත්වනු ඇතැයි පැවැසේ. මෙයට පෙර ජල ක්‍රීඩා සංගමයේ හිටපු නිලධාරීන් නිලවරණය පැවැත්වීමට සූදානම් වෙද්දී ක්‍රීඩා අමාත්‍යාංශය මගින් එය අත්හිටුවා අතුරු කමිටුවක් ගැසට් කිරීමෙන් පසු ලෝක ජල ක්‍රීඩා සංගමය දැනට ක්‍රියාත්මක තහනමක් පැනවිය.

නව අදහස දක්වන්න