ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියෙන් සියලු පාසල්වලට පහසුකම් | දිනමිණ

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියෙන් සියලු පාසල්වලට පහසුකම්

උ.පෙළ සිසුන්ට ටැබ් පරිගණක
විද්‍යා-තාක්ෂණ විෂයයන්ට අධ්‍යාපනයේ මුල් තැන

විසි එක් වැනි සියවසේ අභියෝගයන්ට ඉතා සාර්ථකව මුහුණ දිය හැකි අයුරින් මෙරට අධ්‍යාපනය යාවත්කාලීන කිරීම සහ එහිදී විද්‍යා හා තාක්ෂණ විෂය ක්ෂේත්‍රය කෙරෙහි ප්‍රමුඛතාව ලබා දීම කෙරෙහි වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛ අවධානය යොමුව තිබේ.

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ මෙන්ම, 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් රටේ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීමේ අරමුණ ඇතිව රට පුරා සියලු පාසල් පහසුකම් සහිත පාසල් බවට පත්කිරීම හා උසස් පෙළ දරුවන්ට ටැබ් පරිගණක ලබා දීම ආදී වැඩසටහන් රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නැංවෙමින් තිබෙන්නේ මෙකී අරමුණ යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව ය.

උසස් පෙළ දරුවන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළ මේ වනවිට උසස් පෙළ පන්ති පැවැත්වෙන 1AB කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. නුතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

මේ අන්දමින් වෙනස් වන ලෝකයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම අධ්‍යාපන අමාත්‍යාංශය මෙරට පාසල් පද්ධතිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නීතීඥ යසස් ද සිල්වා මහතා සමඟ දිනමිණ කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සකස් කර තිබේ.

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ

අද ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙනවා. අද අපේ රටේ ක්‍රියාත්මක දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලු දරුවන් උසස් පෙළ පන්තිවලට ඇතුළත් කරගන්නවා. සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ටත් උසස් පෙළ පන්තිවලට ඇතුළත් වීමට අවස්ථාව ලැබීම මෙහි ඇති විශේෂත්වයයි.

නමුත් මීට පෙර ක්‍රියාත්මක වූ ක්‍රමය වූයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වන දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර කිරීමයි. ඒ අනුව 80%ක් පමණ වන දරුවන් ප්‍රමාණයක් අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර කෙරුණා. ඒ නිසා මේ දරුවන්ට තමන්ට ගැලපෙන, ආත්මාභිමානයක් ඇතිව ජීවත් වීමට හැකි වෘත්තීය කුසලතාවයක් අත්පත් කර ගන්න ක්‍රමයක් තිබුණේ නෑ. මේ දරුවන්ව දූවිලි වගේ බැහැර කළා. නමුත් වත්මන් රජය කටයුතු කරමින් සිටින්නේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ හඳුන්වා දී උසස් පෙළට නව තාක්ෂණ විෂයයන් 26ක් ද හඳුන්වා දී මේ දරුවන්ට අභිමානයක් ඇතිව ජීවත් වීමට හැකි වටපිටාවක් නිර්මාණය කර දීමටයි.

අපේ ර‍ට පිහිටා තිබෙන්නේ වාණිජමය වශයෙන් ඉතා වැදගත් මුහුදු ප්‍රදේශයකයි. ඒ නිසා පහසුවෙන් ම සේවා හා කාර්මික අධ්‍යාපනය දියුණු කරගන්න අප රටට හැකියාව ලැබෙනවා. වත්මන් එයට ගැලපෙන ආකාරයටයි. රටක් ඉදිරියට යාමට නම් අනිවාර්යයෙන් ම විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය අවශ්‍යයි. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාත් විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනයේ ඇති වැදගත්කම දිගින් දිගට ම අවධාරණය කර තිබෙනවා. ඒ වගේම 2015 වර්ෂයේ මැතිවරණ ප්‍රකාශයේ එක්සත් ජාතික පෙරමුණ තමන්ගේ අභිලාශයක් ලෙස දළ අධ්‍යාපනය සඳහා ජාතික ආදායමෙන් 6%ක් වෙන් කිරීමටත්, 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබා දීමටත් ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා. දැන් ඒ කටයුතු මේ වනවිට ක්‍රමානුකූලව ඉටුකර ගනිමින් පවතිනවා.

අද වනවිට අපේ රටට විශාල ආදායමක් උත්පාදනය කර දෙන්නේඇඟලුම් කර්මාන්තය හරුණු විට මැදපෙරදිග ශ්‍රමිකයන් විසිනුයි. මැදපෙරදිග රැකියා කරන අති බහුතරය කාන්තාවන්. ඔවුන්ගෙන් ද අති බහුතරයක් කටයුතු කරන්නේ ඒ රටවල ගෘහ සේවිකාවන් ලෙසයි. ඒ ගැන අපි ජාතිකයක් ලෙස කණගාටු විය යුතු බව මගේ හැඟීමයි. තවත් පැත්තකින් මෙය අද ජාතික ගැටලුවක් බවටත් පත් වෙලා. රැකියා සඳහා මවුවරුන් පිටත්ව ගිය විට ඒ මුළු පවුල ම අසරණභාවයට පත් වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. නමුත් මේ ආකාරයට අඩු ආදායමක් ලබන ශ්‍රමයකයන් ලෙස අපේ කාන්තාවන්ට විදේශ ගත වෙන්න සිදුව තිබෙන්නේ අප නිසි ලෙස අපේ අධ්‍යාපනය සැලසුම් සිදු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ කාන්තාවන්ට වෘත්තිය කුසලතාවක් තිබුණා නම් ඔවුන්ට පිටරවල මේ වගේ දුක් විඳින රැකියා කරන්න සිදුවෙන්නේ නෑ.

වර්තමාන රජය සෑම පාසල් දරුවන් සඳහා වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ හඳුන්වා දී තිබෙන්නේ මේ සියල්ල ඉතා හොඳින් සලකා බැලීමෙන් පසුවයි . මේ වැඩපිළිවෙළ යටතේ දරුවන්ට විවිධ විෂයයන් 26ක් හඳුන්වාදී තිබෙනවා උසස් පෙළ අධ්‍යාපනය හදාරන්න. එම විෂයයන් අතරට මෝස්තර නිර්මාණ ශිල්පය, ගෘහ උද්‍යාන අලංකරණය, ඇඟලුම් නිර්මාණය වැනි විෂයන් ද ඇතුළත්ව තිබෙනවා. අලුතින් හඳුන්වා දුන් තාක්ෂණ විෂයයන්වලින් උසස් පෙළ අවසන් කරන දරුවන්ට NVQ -7 මට්ටමේ සහතික පත්‍රයක් හිමිවන නිසා එතැනින් එහාට උපාධිය දක්වා ම ඉහළට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්.

මීට අමතරව වත්මන් රජය 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් 1000ක් අලුතින් බඳවා ගෙන තිබෙනවා. එයට අමතර වෙනත් විෂයයන් ඉගැන්වීම සඳහා ද තවත් විශාල ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවයට බඳවා ගෙන තිබෙනවා. ඒ නිසා මෙම 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ මේ රටේ අධ්‍යාපනයේ සිදුවූ දැවැන්ත විප්ලවයක් ලෙස හඳුන්වා දිය හැකියි.

උසස් පෙළ දරුවන්ට ටැබ් පරිගණක ලබා දීම

ලෝක ශ්‍රම වෙළෙඳ පොළේ අපට තරග කිරීමට සිදුවන්නේ ඉතා ලාභදායී ශ්‍රමයක් සහිත ඉන්දියාව, බංග්ලාදේශය මෙන්ම වියට්නාමය ආදී රටවල් සමඟයි. එසේ වුවත් නිදහස් අධ්‍යාපනය ක්‍රමයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් අපේ රට සතුව කුලසලතාවයෙන් ඉහළ ඉතා දක්ෂ මානව සම්පතක් තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ එම මානව සම්පත ලෝකයේ ඉහළ ම මට්ටමේ මානව සම්පතක් බවට පරිවර්තනය කිරීමයි. මේ සඳහා තාක්ෂණ අධ්‍යාපනය අනිවාර්ය වෙනවා. උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබා දීමෙන් අපේක්ෂා කරන්නේ විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය ලබා දීම යි.

එමඟින් උසස් පෙළ දරුවන්ට ඉතා පහසුවෙන් නවීන ලෝකයේ දැනුම අත්පත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. රජය අතිවිශාල මුදලක් වැය කර නව තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරමින් අපේ දරුවන්ට ඩිජිටල් ක්‍රමයේ අධ්‍යාපන ක්‍රියාවලියකට යොමුවීමට ඉඩ ලබා දෙනවා. එමඟින් අපේ දරුවන්ට ලෝකයේ ඕනෑම රටක දරුවන් සමඟ තරග කළ හැකි මට්ටමේ කුසලතා අත්පත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මෑත කාලයේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ සිදුකළ දැවැන්තම විප්ලවය වන්නේ මෙයයි. අද ෆින්ලන්තය, සිංගප්පූරුව වැනි රටවල් අපට වඩා බොහෝ දියුණුයි. ඒ රටවල් දියුණු වීමේ මූලික පදනම වන්නේ ඔවුන්ගේ අධ්‍යාපන‍යට හඳුන්වා දුන් පුළුල් ප්‍රතිසංස්කරණයි. අද ඉතා දියුණු රටක් වන කොරියාව මීට වසර 20කට පමණ පෙර ඉතා දුප්පත් රටක්ව පැවතුණා.

නමුත් ඔවුන් ඒ රටේ සිදුකළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා විශාල දියුණුවක් අත්පත් කර ගත්තා. එමඟින් අභිමානවත් ජාතිකයක් ලෙස නැඟී සිටියා. ඒ වගේම ජපානය දෙවැනි ‍ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන් ගිනිබත් වූ රටක්. නමුත් ඔවුන් ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයේ ඇති කළ ප්‍රතිසංස්කරණ හරහා ඉතා කෙටි කලකදී ලෝකයේ ම දියුණු ම රටක් බවට පත් වුණා. ඒ අනුව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ මඟින් ලෝකයේ දියුණු රටක් බවට පත් වීමට ශ්‍රී ලංකාවට ද හැකියාව ලැබෙන බව අපට කියන්න පුළුවන්. ඒ නිසා උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළට විරුද්ධ වන්නේ මේ ‍රටේ දරුවන් අනාගත ලෝකය ජය ගන්නවාට විරුද්ධ අන්තවාදී පුද්ගලයන් බව මගේ අදහසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ට ටැබ් පරිගණක ලබා දීම ඉතාම ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිනවා. කිසිම ආකාරයකින් මේ ටැබ් පරිගණක අවභාවිතා කිරීමට ඉඩක් ලැබෙන්නේ නෑ. ඒ සඳහා ආරක්ෂිත ක්‍රම අනුගමනය කර තිබෙනවා. ඒ නිසා මවුපියන් ඒ සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර ගත යුතු වන්නේ නෑ.

අපි දන්නවා මේ රටේ මුදල් තිබෙන පවුල්වල දරුවන්ට ඉතා කුඩා කාලයේ සිට පරිගණක තාක්ෂණික දැනුම ලබා දෙනවා. ඒ නිසා ඔවුන් ඉතා පහසුවෙන් අනෙක් දරුවන් අභිබවා ඉදිරියට යනවා. නමුත් උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම මඟින් දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම දරුවකුට ම ඉහළ ම අධ්‍යාපනයක් ලබාගෙන ලෝකයේ ඉදිරියට ම යා හැකි අවස්ථාව උදා වෙනවා.

මේ වැඩපිළිවෙළත් රටේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකළ ඉතා දැවැන්ත විප්ලවයක් ලෙස හඳුන්වා දිය හැකියි. දුරදිග බලා මේ වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත්, මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා දිවා රෑ නොබලා කටයුතු කරන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාටත් අපි ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඇතැමුන් ‍ගෙන යන බොරු ප්‍රචාරවලට හසු නොවී, රජය ගෙන යන මේ දූරදර්ශී වැඩපිළිවෙළට රටක් ලෙස අප සියලුදෙනා සහාය දැක්විය යුතුයි.

‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය

අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ අද ගමේ පාසලටත් නගරයේ පාසල්වල තිබෙන පහසුකම් ලබා දී තිබෙනවා. පාසල් විශාල සංඛ්‍යාවක් එමඟින් සංවර්ධනය කර තිබෙනවා. ‍බොහෝ දෙනෙක් මෙතෙක් කතා කළේ බලවත් මවුපියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන නගරාශ්‍රිතව පිහිටා තිබෙන ජනප්‍රිය පාසල් ගැන පමණයි.

නමුත් වත්මන් රජය එම එම සංකල්පයෙන් ඉවතට ගිහින් 'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ සෑම පාසලකට ම, සෑම දරුවකුට ම අධ්‍යාපනයේ සම අවස්ථා සහතික කිරීමට දැඩි කැපවීමකින් යුක්තව කටයුතු කරමින් සිටිනවා. මෙහි ප්‍රතිලාභ ලැබෙන්නේ කිසිවකුගේ අවධානයට ලක් නොවූ මේ රටේ ගම්වල සිටින බහුතර අහිංසක දූදරුවන්ටයි. ඇත්ත වශයෙන් ම රජය මේ කටයුතු සිදුකරන්නේ සමාජයේ දිගින් දිගට ම පවතින විශාල පිළිලයක් වන ඇති- නැති පරතරය සම්පූර්ණයෙන් රටෙන් තුරන් කර සියලුදෙනාට ම අභිමානවත්ව හා ගෞරවාන්විත ජීවිතයක් ගත කළ හැකි රටක් නිර්මාණය කිරීමටයි. 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය මඟින් මෙතෙක් කිසිවකුගේ හවුහරණක් නොලැබුණු විශාල දරුවන් සංඛ්‍යාවකට ඉහළ ම අධ්‍යාපන අවස්ථා ලැබෙනවා.

අප ජාතිකයක්‍ ලෙස ඉදිරියට යාමට නම් සෑම දරුවකුට ම සම අවස්ථා ලැබිය යුතු බව වත්මන් රජයේ අදහසයි. උතුරේත්, දකුණේත් කැරලි ඇතිවූයේ තමන් කොන් කළා වැනි හැඟීමක් මේ රටේ තරුණ පරපුර තුළ ඇතිවීමයි. මෙවැනි අදහස් තරුණ පරපුර තුළ මතුවීමට එක් හේතුවක් වන්නේ අධ්‍යාපනයේ තිබෙන විසමතාවයි. වත්මන් රජය එම විසමතාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා සේම, විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි ද විශාල බරක් ලබා දී කටයුතු කරනවා. එයට හේතුව නූතන ලෝකයේ විද්‍යා තාක්ෂණ අධ්‍යාපනය නොමැතිව කිසිදු රටකට අනාගත ගමනක් නැති නිසයි. වත්මන් රජය තරම් අධ්‍යාපනයට විශාල සේවාවක් සිදුකළ හා ඒ සඳහා අති විශාල මුදල් සම්භාරයක් වෙන් කළ කිසිම රජයක් නැති බව මගේ හැඟීමයි. ඒ වගේම රජය මේ සියල්ල සිදුකරන්නේ මේ රටේ අහිංසක දරුවන්ට අභිමානයක් සහිත අනාගතයක් සාදා දීම සඳහායි.

සටහන - සිතාරා සේනානි
ඡායාරූප විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න