වනජීවි දෙපාර්තමේන්තුව බාරයේ තිබෙන නාගර්කෝවිල් - වඩමාරච්චි ඉඩම් ජනතාවට ලබා දෙන්න | දිනමිණ

වනජීවි දෙපාර්තමේන්තුව බාරයේ තිබෙන නාගර්කෝවිල් - වඩමාරච්චි ඉඩම් ජනතාවට ලබා දෙන්න

අගමැතිගෙන් අදාළ නිලධාරීනට උපදෙස්

නාගර්කෝවිල් හා වඩමාරච්චි ප්‍රදේශයවල තිබෙන ජනතාවගේ ඉඩම් වනජීවි දෙපාර්තමේන්තුවට ඇතුළත් බවට තිබෙන ගැසට් නිවේදනය ඉවත් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ජනතාවට ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට පසුගිය දා (14) නියෝග කෙළේය.

නාගර්කෝවිල් ප්‍රදේශයේ තිබෙනට අයත් නොවන ජනතාව පරිහරණය කළ ඉඩම් නැවත මෙලස ජනතාවට ලබාදෙන ලෙස අගමැතිවරයා ‍නියෝග කෙළේය.

එම ගොඩබිම් තීරුව යුද සමයේදී වනජීවි දෙපාර්තමේන්තුව යටතට ගැසට් කර තිබුණත් එහි වනජීවි දෙපාර්තමේන්තුවට ගැසට් කිරීමට තරම් පරිසරයක් නොමැති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

තමා යුද සමයේදී සාම සාකච්ඡා කාලයේ කොටි ත්‍රස්තවාදී කඳවුරු නිරීක්ෂණය කිරීමට මෙම ප්‍රදේශයට ගොස් ඇති බවද සිහිපත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉඩම් නිදහස් කිරීමට වනජිවි අධ්‍යක්ෂ ජෙනරල්වරයාට මේ බව දන්වන ලෙසය කියා සිටියේය.

යාපනය දිසාපති කාර්යායේදී පසුගිය දා (14) පැවැති නිවාස, නැවත පදිංච් කිරීමේ හා සංවර්ධන කටයුතු සොයා බැලීම හා ප්‍රගති සමාලෝචනයට එක්වෙමින් අගමැතිවරයා මෙම උපදෙස් නිලධාරීන්ට ලබා දුන්නේය.

2002 වසරේදී ද තමා අගමැතිවරයා ලෙස මේ පිළිබඳ සොයා බලා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නද එම ආණ්ඩුව බිද වැටීම නිසා ක්‍රියාත්මක වී නොමැති බව සිහිපත් කළ අගමැතිවරයා මෙම ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන ලෙසද කියා සිටියේය.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන, වරාය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, රාජ්‍ය ඇමැතිවරුන් වන ජේ .සී. අලවතුවල, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, එස් .සරවනබන්, එස්. ශ්‍රීධරන්, එම් .ඒ. සුමන්තිරන් පොලිස්පති පූජිත ජයසුන්දර මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චමීර ඇල්ලදෙණිය
ඡායාරූපය- හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න