උතුරේ ජන දුක නිවීමේ ජනපති වෑයමට සහය දෙමු | දිනමිණ

උතුරේ ජන දුක නිවීමේ ජනපති වෑයමට සහය දෙමු

රත්නපුර, කෑගල්ල, කළුතර ප්‍රදේශ යට කරමින් ගංවතුර ලෙස නිකරුණේ මහ සයුරට ගලා බසින ජල කඳ නල මඟින් උතුරට ගෙන ගොස් එහි ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ සිහිනය යථාර්ථයක් කිරීමට කැපවෙන ජනාධිපතිතුමන් නෙදර්ලන්ත ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත යාපනයට, ගඟක් ව්‍යාපෘති 2020 වනවිට ක්‍රියාවට නැංවීමටත්, ජයිකා ආධාර මත එල්ලංගා පද්ධති සංවර්ධනය කිරීමටත් සැලසුම් සකස් කර අවසන්ය.

උතුරු සහ නැගෙනහිර ජනයාගේ ගැටලු විසඳීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව යළි අවධාරණය කිරීම අරඹා තිබේ. රාජ්‍ය බලය බෙදාහැරීම හා බෙදා හදා ගැනීම, ව්‍යවස්ථා සංශෝධනය ආදියෙන් ප්‍රශ්න විසඳීමට මග‍ ලෙස සිතීම 60 දශකයේ දේශපාලන විද්‍යාව හැදෑරූ ආචිර්ණ කල්පිත බලවේගයන්ගේ සිතුවිල්ලකි. උතුරේ දෙමළ ජනයාගේ සමාජ ආර්ථික ප්‍රශ්න විසඳීමෙහිලා තිබෙන අවකාශ අහිමි කර යළි යළිත් උතුරේ ජනයා දුගී බවට සහ සමාජ අසාධාරණයට ගොදුරු කිරීම මෙම යෝජනාව ඉදිරිපත් කරන දෙමළ දේශපාලන ප්‍රභූවරුන්ගේ අරමුණ බව ඉතා පැහැදිලිය. එමෙන්ම ශ්‍රී ලංකාව කැබලි කර අධිරාජ්‍යවාදයේ වහල් කඳවුරක් කිරීමේ අරමුණ සහිතව රාජ්‍ය නොවන සංවිධාන ද මේ වෙනුවෙන් පෙනී සිටී. මේ යථාර්ථය පසක් කරගැනීමට දෙමළ ජනයාට දේශපාලන සාක්ෂරතාවය නොමැතිවීම ඛේදවාචකයකි.

දෙමළ සමාජයේ සමාජ ආර්ථික ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් විටෙක සාමකාමී අරගල තුළින් ද තවත් වරක ප්‍රචණ්ඩ රණකාමිත්වය භාවිතා කරමින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කැපවිණි. ඒ සඳහා ක්‍රියාත්මක වූ අභ්‍යාසය දශක තුනකට පසු දෙමළ සිංහල නායකයන් හා සාමාන්‍ය ජනයා ලක්ෂයක මළමිනී මතින් ව්‍යර්ථය විණි. 2009 මෙම සන්නද්ධ ත්‍රස්ත කැරැල්ල විසින් දකුණේ සිංහල සමාජය ද එමෙන්ම උතුරේ සමාජය, ආර්ථික, සංස්කෘතික ව්‍යුහයම බිඳ වැටිණි. මෙම ඛේදවාචකය සියවසක අත්දැකීමක් බවට පරිවර්තනය කර උතුර දකුණ එක් මිටකට එක්ව සෞභාග්‍ය කරා රැගෙන යාමේ අවස්ථාව එළඹුණත් දෙමළ සිංහල නායකයන් එය බරසාරව නොගැනීම රටේ අවාසනාවකි.

දෙමළ සමාජයට ඇතැයි කියන දුක් ගැනවිලි සහ ප්‍රශ්න විසඳීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන සභා විසඳුම ද පසුව පළාත් සභා විසඳුම ද ඉදිරිපත් කෙරිණි. එහෙත් ඉන් විසඳාගත් ප්‍රශ්නයක් ‍ෙනාවිණි. විශේෂයෙන් ඉන්දීය ආක්‍රමණය විසින් තහවුරු කළ පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලට අවශ්‍ය පුළුල් දේශපාලන අවකාශය නම් විවෘත කරනු ලැබීය. ඒ තුළින් දකුණේ සිංහල ජීවිත හැත්තෑහත්දහසක බිලි පූජාවකින් එය කෙළවර විණි.

උතුරු සහ නැගෙනහිර මෑතක සිට වාර්තා වන සිදුවීම් සහ ඇතැම් දෙමළ සන්ධානය මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ක්‍රමයෙන් ගොඩනැගී ආ සිංහල දෙමළ සංහිඳියාව බිඳ දැමීමට මග පාදනු නිසැකය. ඇඩෝල්ෆ් හිට්ලර් බිහිකිරීම වෙනුවෙන් ජර්මන් සමාජය සමඟ ලොවම වන්දි ගෙවනු ලැබීය. රෝහණ විජේවීර බිහිකිරීම නිසා සිංහල සමාජය ද වේලුපිල්ලේ ප්‍රභාකරන් බිහිකරලීමෙන් දෙමළ සමාජය ද දසක ගණනාවකට සරිලන වන්දි ගෙවනු ලැබිණි.

මිනිසුන්ගේ ආවේගයන් අවදි කර ඔවුන් මිත්‍යා අගාධයන් කරා, රැගෙන යාම පහසු වුවත් ඉන් ගලවා ගැනීම පහසු නැත. එබැවින් අන්තවාදී අභ්‍යාසයන් හරහා යළි ප්‍රභාකරන් වැන්නන් බිහිකර වන්දි ගෙවීමට හැකියාවක් රටට නැති බව දෙමළ වංශවත් දේශපාලන නායකයන් තේරුම් ගත යුතු ය. කුලවාදයෙන් ආවේශ වී සිටින සමහර දෙමළ දේශපාලනඥයින් කුලහීන පීඩිත දෙමළ ජනයා සංහාරය කිරීමේ වෛරී මාවතින් මිදීයාමට කාලය එළැඹ ඇති බව ද ඔවුන් තේරුම් ගත යුතුය.

දෙමළ දේශපාලන නායකයන් වෙත සිංහල සමාජය තැබූ විශ්වාසය සැමදා බිඳ දැමූ අතර මෑතකාලීන අත්දැකීම සී. වී. විග්නේෂ්වරන් මහතා සපයන ලදී. ඔහු සිංහල ප්‍රදේශයක සිංහල ඥාතීන් සහිත සිංහලයන් සමඟ ජීවත් වූ අයෙකි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ එතුමා උතුරේ මහ ඇමැතිවරයා ලෙස පත්වනවිට සිංහල දෙමළ සංහිඳියාවේ සංකේතය වෙතැ යි ඉමහත් බලාපො‍රොත්තුවක් රට තුළත් ඉන් පිටතත් ඇති වුණි. එහෙත් ඉතා අවාසනාවන්ත ලෙස සිදුවූයේ ඔහු අන්තවාදයේ ග්‍රාම්‍ය ප්‍රකාශකයෙකු වීමය. භේදභින්නතා අවුලවන්නෙකු බවට පත්වීමය. දෙමළ තරුණ ජනයා මනෝරාජික ඊළාම් සිහිනයක ගාල් කිරීමට ක්‍රියා කිරීමය.

දෙමළ දේශපාලන නායකයන් අහිංසක දෙමළ ජනයාව සිංහලයාට එරෙහිව පෙළඹවීම නවතා උතුරු සහ නැගෙනහිර සංවර්ධන සංග්‍රාමයකට යටත් කිරීමට පෙළඹවීමේ ඓතිහාසික කාර්යභාරයට උරදිය යුතුය. පශ්චාත් යුද සමයේදී මහින්ද රාජපක්ෂ මහතා උතුරු වසන්තය නැගෙනහිර නවෝදය ලෙස සංවර්ධනයට මැදිහත් වුණි. උතුරේ හෝ රටේ ආර්ථික ප්‍රගතියක් අත්පත් කර ගැනීමට එකී භෞතික සංවර්ධනය සමත් නොවූ බව ඉදිරිපත්ව ඇති සංඛ්‍යා ලේඛන තහවුරු කෙරේ. “මෙරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 42% ක් බස්නාහිර පළාත සතුය. දකුණු පළාත එය 10.8% ක් වනවිට ඌව පළාත 5% නිෂ්පාදනයට එකතු කරනවිට උතුරු පළාත 3.6% රැඳී තිබේ. මේ ඉරණම ‍හා ඛේදවාචකය තේරුම් ගෙන ඉන් මිදීමට දෙමළ දේශපාලන නායකයන් ක්‍රියා කළ යුතු ය.

උතුරෙන් දකුණට ඒමත් දකුණෙන් උතුරට යාමත් ඉතා යෝග්‍ය සංස්කෘතික භාවිතාවකි. එහෙත් එය සංහිඳියාවේ හා ආර්ථික සංවර්ධනයේ අගය ලෙස ප්‍රහර්ෂයෙන් යුතුව සැලකීම මිත්‍යාවක් බව අප පිළිගත යුතු ය. ජාතික සංහිඳියාව ගොඩනැගිය හැක්කේ සමාජ ආර්ථික ක්‍රියාවලියක් දියත් කිරීමෙන් බව ද එලෙස ම තේරුම් ගත යුතු ය. උතුරු නැගෙනහිර සංවර්ධන සැලසුම් දියත් වනවිට එමගින් ප්‍රජාතන්ත්‍රික ක්‍රියාවලිය පිළිබඳව ජනතා විශ්වාසය හා අධිෂ්ඨානය ඔප්නැංවේ. රජය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු වනවිට අන්තවාදී කල්ලිවලට ජනතාව ගෝත්‍රිකවාදය කරා දැක්වීම පහසු නොවේ. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් තුළ ඇති වන අන්‍යෝන්‍ය විශ්වාසය මත ගැටලු විසඳා ගැනීම ගැඹුරු කථිකාවතක් ඇරඹිය හැක. එවිට ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදුකිරීම පසුබිම සැකසෙනු ඇත.

‍ෙම් යථාර්ථය තේරුම් ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු හා නැගෙනහිර පළාත් තුළ නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලීමත් දියත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ජන ජීවිතය යළි ගොඩනැගීම අරමුණ සහිතව උතුරු නැගෙනහිර කාර්ය සාධන බළකායක් එතුමාගේ සභාපතිත්වයෙන් 2018 ජුනි 5 දින ආරම්භ කරන ලදී. ජනාධිපතිතුමන් මේ වනවිට එකී කාර්ය සාධන බළකාය අවස්ථා පහක් හමු වී උතුරු නැගෙනහිර දේශපාලන නියෝජිතයන් අමාත්‍යාංශ හා රාජ්‍ය නිලධාරින් කාර්යක්ෂමව මෙහෙයවමින් යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත් තුළ වේගවත් සංවර්ධන මඟකට යොමුකර ඇත. මේ තුළින් ජන ජීවිතය හා බැඳුණු පානීය ජල අවශ්‍යතා සැපරීම වාරිමාර්ග, කෘෂිකර්ම, සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, මහාමාර්ග, විදුලිය, නිවාස ක්ෂේත්‍ර තුළ ගැටලු විසඳා පුළුල් සංවර්ධනයකට උතුරු නැගෙනහිර යටත් කරලීමට ජනාධිපති කාර්ය සාධන බළකාය කැපවී සිටී.

සියවස් ගණනාවක් තුළ උතුරේ ජනතාව පෙළෙන ජලගැටලුව එහි දුගීභාවය ඉහළ යාමටත් ඒ හරහා විවිධ සමාජ ගැටලු උත්පාදනයටත් හේතුවිය. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් උතුරේ ජනතාවට අවශ්‍ය ජලය නිසි ලෙස සම්පාදනය කළ විට සෙසු සංවර්ධන ගැටලුවලටද ඒ සමඟම විසඳුම් ලැබේ. උතුරු මැද, නැගෙනහිර, වයඹ පළාත්වල ජල ගැටලුවට විසඳුම් සඳහා මොරගහකන්ද, කලුගඟ, වයඹ ඇළ වැනි යෝධ ජල නිධි ජාතියට උරුම කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, උතුරේ ජල ගැටලුව විසඳීමට වෙහෙසෙති.

රත්නපුර, කෑගල්ල, කළුතර ප්‍රදේශ යට කරමින් ගංවතුර ලෙස නිකරුණේ මහ සයුරට ගලා බසින ජල කඳ නල මඟින් උතුරට ගෙන ගොස් එහි ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ සිහිනය යථාර්ථයක් කිරීමට කැපවෙන ජනාධිපතිතුමන් නෙදර්ලන්ත ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත යාපනයට, ගඟක් ව්‍යාපෘති 2020 වනවිට ක්‍රියාවට නැංවීමටත්, ජයිකා ආධාර මත එල්ලංගා පද්ධති සංවර්ධනය කිරීමටත් සැලසුම් සකස් කර අවසන්ය. මෙසේ උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් රටේ ජනාධිපතිවරයා ලෙස එතුමාගේ සෘජු මැදිහත්වීම එහි ජනතාවට නව බලාපොරොත්තු ඇති කරවන්නක් වනු ඇත. විසිරී ගිය උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ලෙස දකුණ සමඟ ගනුදෙනු කළ හැකි මාධ්‍ය‍මික දෙමළ වියතෙකු වූ සුරේන් රාඝවන් මහතා උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කරලීමෙන් උතුරේ ජනතාවට යුක්තිය ඉටුකිරීමට ජනාධිපතිතුමන්ගේ ඇති කැපවීම ද ප්‍රකට කරනු ලැබීය.

මෙවන් වාතාවරණයක් තුළ උතුරේ සංවර්ධන කටයුතු තම සන්ධානය පත් කළ කමිටුවකින්, අනුමත යෝජනා පමණක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ක්‍රියාත්මක කරවන බවට පසුගියදා දෙමළ සන්ධානය ප්‍රකාශ කරලීම උතුරේ ජනතාවට යුක්තිය ඉටුකිරීමට ගන්නා වෑයමට එරෙහි වීමකි. දෙමළ සමාජයේ එකම නි‍යෝජිතයා තමන් බව ප්‍රභාකරන් අවි බලයෙන් අන්‍යයන් භීතියට ලක්කරමින් තහවුරු කරනු ලැබීය.

දෙමළ සන්ධානයේ මෙම යෝජනාව මඟින් ප්‍රකාශ කිරීමට තැත් කරනුයේ දැන් තමන් එහි එකම නියෝජිතයා බවය. මෙය උතුරේ ජනතාවටත් ජනතාවගේ අන් නියෝජිතයන්වත් සහසික ලෙස නොසලකා හැරීමකි. දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, උතුරේ ආණ්ඩුකාරතුමන්, ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, අංගජන් රාමනාදන්, හිටපු පළාත් සභා සභිකයන්, පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරු, සභාපතිවරු වැනි මහජන නි‍යෝජිතයන්ගේ අදහස් හා යෝජනා ගැන සංවේදී විය යුතු අතර ඔවුන්ගේ සෘජු මැදිහත්වීම උතුර ගොඩනැගීමේදී අදාළ විය යුතු ය.

මෙහිදී අවධානයට යොමුවිය යුතු අංශ කිහිපයකි. උතුරේ ගොවි බිම් තුළින් නෙළන කෘෂි හා පළතුරු අස්වැන්නට හා උතුරු මුහුදෙන් නෙළන මත්ස්‍ය අස්වැන්නට වෙළෙඳ පොළක් විවෘත කළ යුතුය. උතුරේ තරුණ තරුණියන්ගේ උග්‍ර රැකියා විරහිතභාවයට විසඳුමක් ඉදිරිපත් කළ යුතුය. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන වැනි ක්ෂේත්‍රයන්ට අදාළ ගැටලුවලට වහා විසැඳුම් දිය යුතු ය.

සනීපාරක්ෂක පූර්ව ළමා විය අධ්‍යාපන අවශ්‍යතා සැපිරීමද ප්‍රමුඛතාවයකි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල හස්තයන්ට ගොදුරු වී ණය ගෙවා ගත නොහැකිව අසරණ වී සිටින ජනතාව ඉන් ගලවා ගැනීමේ මඟක් ද සෙවිය යුතු ය. පුනරුත්ථාපනය කළ හා නිදහස් කළ එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ ජීවන ත්ත්තවය නංවාලීමට අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අභියෝගය ජයගත යුතුය. උතුරේ වැන්දඹු කාන්තාවන්ගේ පැවැත්ම සහතික කර ඔවුන්ට ජීවන මාවත් විවෘත කළ යුතුය.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, වාලච්චේන කඩදාසි කම්හල, අලිමංකඩ හා කුරුන්චායිනිවු ලුණු ලේවායන් මෙන් ම අච්චුවේලී කාර්මික ජනපදය ගැන අතීත සැමරුම් වෙනුවට උද්‍යෝගිමත් රැකියා හා ධන උල්පත් කර රටේ අනාගතය සශ්‍රීක කිරීමට කැපවිය යුතුය. සොරකම, බේබදුකම, අපචාරවලට ද හසුව ඇති උතුරේ දෙමළ සමාජය ඉන් ගලවා ගැනීම ද ප්‍රමුඛතාවයකි. මේ අවශ්‍යතාවයන් සපුරා උතුරු නැගෙනහිර ජනයාට සංවර්ධන ප්‍රතිලාභ අත්කර දීම වෙනුවෙන් අවංකව කැපවී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදීම සිංහල, දෙමළ සමස්ත ජනයාගේ ජාතික යුතුකමකි.

 

සනත් දේවින්ද


නව අදහස දක්වන්න