වැඩකාරයො බෙර ගහ ගහ වැඩ කරන්නේ නැහැ | දිනමිණ

වැඩකාරයො බෙර ගහ ගහ වැඩ කරන්නේ නැහැ

සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද සංඝාවාසය හා බෝධිප්‍රාකාරයට විවෘත කිරීමත්, බුදුමැදුර ප්‍රතිසංස්කරණය කිරීමට මුල්ගල තැබීමත් ඊයේ (17) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා දායක සභාවේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. දායක සභාවේ සභාපති චන්න වික්‍රමසිංහ, බ්‍රිතාන්‍යයේ හිටපු මහ කොමසාරිස් අමරි මන්දිකා විජයවර්ධන මහත්මිය ඇතුළු පිරිස හා විහාරාධිපති අඹන්වල ඤාණාලෝක හිමියන් ඇතුළු දායක සභාව පිළිගෙන විහාරස්ථානය වෙත කැඳවාගෙන එන අයුරු. අමාත්‍ය දයා ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාද මේ අවස්ථ

අගමැති සේදවත්තේදී කියයි

වැඩ කරන අය බෙර ගහ ගහ වැඩ කරන්නේ නැහැ. බෙර ගහ ගහ වැඩ කරන්නේ වැඩ බැරි අය යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) සේදවත්ත වෙහෙරගොඩ විහාරස්ථානයේ පැවැති පින්කමකට සහභාගි වෙමින් පැවැසීය.

අගමැති වරයා එසේ පැවසුවේ තම පෞද්ගලික ධනයෙන් ඉදිකරන ලද එම විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය වටා රන්වැට විවෘත කිරීම, නවීකරණය කරන ලද සංඝාවාසය හා දානශාලාව සඟ සතුකොට පූජාකිරීම යන පින්කම් තුනකට සහභාගී‍ වෙමිනි.

තම මිත්තනිය වූ හෙලේනා විජයවර්ධන ළමාතැනිය හා මුත්තා වූ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් තුමා විසින් මහ සඟරුවනට පූජා කරන ලද ඉඩමක එම දෙපළගේ හා දූ දරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකොට තිබෙන බුද්ධ මන්දිරය ප්‍රතිසංස්කරණය පිණිස මුල්ගල් තැබීම, විහාරස්ථානයට ඇතුළුවන දොරටුව අබියස මකර තොරණ ඉදිකිරීම හා විහාරය වටා ආරක්ෂක බැම්මක් ඉදිකිරීම යන කටයුතුවලට මුල්ගල් තැබීමද අගමැතිතුමා අතින් මෙදින සිදුවූ අතර ඉන් අනතුරුව මෙම රැස්වීම පැවැත්විණි.

එම ඉදිකිරීම්ද අගමැතිතුමාගේම ධන පරිත්‍යාගයෙන් සිදුකිරීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිතුමා මෙසේද කීවේය. “ඕලන්ද කාලයේ සේදවත්ත ග්‍රාමය ප්‍රසිද්ධව ඇත්තේ සේද වෙළඳාමේ යෙදුණු ව්‍යාපාරිකයින්ගේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙසයි. පසු කාලීනව මෙම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පරපුරක්වූ තුඩුගල විජයවර්ධන පරපුර බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීම සඳහා මෙම විහාරස්ථානය ඉදිකර තිබෙනවා. මේ වන විටත් මෙතෙක් කලක් තිස්සේ මෙම විහාරස්ථානයේ නඩත්තු ප්‍රතිසංස්කරණ කරනු ලබන මා ඇතුළු පිරිස මෙම පරම්පරාවේ පස්වැනි ඥාති පරපුරයි.

බෞද්ධ වෙහෙර විහාර මෙතෙක් කල් ආරම්භ වුනේත්, රැකුනේත් සිංහල බෞද්ධ ජනතාව මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින පිරිසගේ ආධාර උපකාර නිසයි. එවැනි පරිත්‍යාගශීලීන් නොමැතිව ජරාවාසව තිබූ යුගයෙක කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ධනය එවා තිබෙන බව සඳහන් වෙනවා.

ජනතාව අතර මුදල් ගැවසෙනවා නම් ශාසනික කටයුතු වලටත් භික්ෂූන් වහන්සේ ආරක්ෂා කිරීමටත් බෞද්ධ පිරිස් කටයුතු කරනවායිද කී අගමැතිතුමා මැතිනියගේ පාලන කාලයේ ඉඩම් හා ව්‍යාපාර ජනසතු කිරීමත් සමඟ එකල ඒවායේ ආදායම් රජයට ගිය නිසා විහාරස්ථානවලට ලැබිය යුතු ආදායම් නොලැබීම සිද්ධස්ථාන ගොඩනැඟීමට අමාරුවක්ව තිබුණා. එහෙත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පසුව හඳුන්වාදුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාව අත මුදල් ගැවසීමට පටන්ගැනීමත් සමඟ නැවත ආගමික පුනරුදයක් ඇතිවුණා.

මම අධ්‍යාපන ඇමැතිවරයාව සිටි එම වකවානුවේ පිරි‍ෙවන් අධ්‍යාපනය නඟා සිටුවීමට කටයුතු කළා. විද්‍යෝදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලවල දියුණුවට උපකාර කළා. පිරිවෙන් දියුණු කිරීමට සංස්කෘතික ත්‍රි‍කෝණය අරමුදල හරහා ඒවාට උපකාර කළා. බොහෝදුරට පන්සල් ආගමික සිද්ධස්ථාන රැකෙන්නේ එම ස්ථානවල වැඩ වෙසෙන හාමුදුරුවරුන් හා සිංහල බෞද්ධ ජනතාව නිසයි. මේ නිසා ජනතාවගේ ආර්ථිකය වර්ධනය කිරීම අපේ වගකීමයි.

ව්‍යවස්ථාව ගැන දැන් කවුරුත් හොඳින් දන්නා නිසා මා ඒ ගැන කතා කරන්නේ නැහැ. මේ පන්සල දියුණු කරන්න අපේ නායක හාමුදුරුවෝ අඹන්වල ඤාණාලෝක හිමි ගන්නා උත්සාහය ගෞරවයෙන් සිහිපත් කරන අතර දැන් උන්වහන්සේගේ උත්සාහය මත අරලියගහ මැදුරේ බෝධින් වහන්සේත් පන්සලක තත්වයට පත්වෙමින් පැවතීම සතුටට කරුණකැයිද අගමැතිතුමා කීහ.

අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්, විහාර සංවර්ධන කමිටුවේ සභාපති චන්න වික්‍රමසිංහ, කුළඟන සමිතියේ සභාපති හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අමරි මන්දිකා විජයවර්ධන විහාරස්ථ දායක සභාවේ ලේකම් පාලිත හේවාමුදලි යන මහත්ම මහත්මීහුද මෙම සභාව ඇමතූහ.

මල්වතු මහා විහාරය නියෝජනය කරමින් වැඩමකොට සිටි පහමුණේ සුමංගල නාහිමි හා කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමි ජපානයේ සංඝනායක පැල්පොල විපස්සි හිමිවරුද මෙහිදී අනුශාසනා පැවැත්වූ අතර මෙදින දහවල් වැඩමකොට සිටි මහ සඟරුවන වෙත අගමැතිතුමාගේ හා විජයවර්ධන පරපුරේ ඥාතීන් අතින් සිදුකරන ලද දානමය පින්කමක්ද පැවැත්විණි.

කොළොන්නාව සමූහ ඒ.සුමනසේන

 

නව අදහස දක්වන්න