උතුරේ ජනතාව බෙදුම්වාදී අදහසක නැහැ | දිනමිණ

උතුරේ ජනතාව බෙදුම්වාදී අදහසක නැහැ

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

උතුරේ බහුතර ජනතාව බෙදුම්වාදී අදහසක නොමැති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා මල්වතු අස්ගිරි නාහිමිවරු හමුවෙහි පැවසීය.

එය සුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් මත පදනම් වූ අදහස පමණක් බව ද ඒ මහතා පවසයි.

උතුරු පළාත් ආණුඩුකාරවරයා එම තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසු මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිදු වැඳ පුදා ගැනීමෙන් අනතුරු මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක මේ බැව් පැවසීය.

උතුරේ ජනතාව තිස් වසරක යුද්ධයටද දස වසරක පශ්චාත් යුද සමයටද මුහුණ දී ඇති බැවින් තුවාලය වේළුනද කැළැල තවමත් ඉතිරි බව හෙතෙම කීය.

අනෙක් පළාත් හි ජනතාව සේ සාමාන්‍ය ආකාරයෙන් එක්ව ජීවත් වීමේ අවකාශය හැර වෙනත් අන්තගාමී අදහස් උතුරේ ජනතාවට නැතැයි ඒ මහතා පවසයි.

දෙමළ සම්භවයක් සහිත එම භාෂාව කතා කරන උතුරේ පළමු ආණ්ඩුකාරවරයා තමා බවත් ජනාධිපතිතුමන් එලෙස පත් කරනු ලැබුවේ විශාල බලාපොරොත්තු ඇතිව බවත් හෙතෙම පැවසීය.

මේ සඳහා උතුරු දකුණු පාලම් එක් වූ සංස්කෘති ගොඩනැගීමට උතුරේ මෙන්ම දකුණේ ද පරිණත මිනිසුන් එක් කර ගත යුතු බව ඒ මහතා පවසයි.

එම ජනතාවගේ දේශපාලන, සමාජ, සංස්කෘතික අධ්‍යාපනික හා ආධ්‍යාත්මික අවශ්‍යතා මැනැවින් අවබෝධ කර ගනිමින් මේ සඳහා වැඩපිළිවෙළක් ද කිසිදා බෙදිය නොහැකි, ඒකීය රටක සියල්ලන්ටම එක්ව ජීවත් විය හැකි පරිසරයක් වෙනුවෙන් සෑම වැඩපිළිවෙළක් ද සැකැසිය යුතු බව රාඝවන් මහතා අවධාරණය කරයි.

ඉන්දික පොල්කොටුව

 


නව අදහස දක්වන්න