පහත රට තේ කර්මාන්තය නඟා සිටුවීමට විද්‍යානුකූල නව වගා ක්‍රමවේදයකට යායුතුයි | දිනමිණ

පහත රට තේ කර්මාන්තය නඟා සිටුවීමට විද්‍යානුකූල නව වගා ක්‍රමවේදයකට යායුතුයි

පහත රට ප්‍රදේශවල දේශගුණික සාධක හේතුවෙන් පරිහානියට පත්වීමේ තර්ජනයට මුහුණ දී ඇති තේ කර්මාන්තය නඟා සිටුවීමට විද්‍යානුකූල නව වගා ක්‍රමවේදයකට යායුතුව ඇති බවත් ඒ සඳහා නව තේ ප්‍රභේද හඳුන්වා දීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවසීය.

මෙතෙක් කඳුරටට පමණක් සීමා වූ නිවාස යෝජනා ක්‍රමයේ සහන පහතරට ද්‍රවිඩ ජනතාව වෙත ද ලබා දෙමින් එනසල්වත්ත (සෙල්වකන්ද ) ප්‍රදේශයේ පහතරට ද්‍රවිඩ ජනතාව වෙත නිවාස 50 ක් සාදා දීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ උත්සවයට එක් වෙමින් ඇමැතිවරයා එම අදහස් පළ කෙළේ ය.

එම අවස්ථාවට කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් මහතා ද සහභාගී විය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

අවම පහසුකම් යටතේ ජීවත් වන වතුකර ජනතාවගේ අබලන් වූ නිවාස ප්‍රතිසංස්කරණය කොට ඔවුන් වෙත නව නිවාස ලබාදෙමින් එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික පරමාර්ථයයි.මේ ප්‍රදේශයේ වතුකරයේ ජනතාවගේ පරම්පරා කිහිපයක්ම ජීවත්වී තිබෙනවා. ඒ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයට ළැදිව කටයුතු කර ඡන්දයක් පවතින කාලෙට අපට උදව් කරනවා. නමුත් ඡන්දෙන් පසුව මුකුත්ම ඉල්ලන්නේ නැහැ. මේ වත්තට ආවිට කිව්වෙ මෙහි කෝවිල හදා දෙන්න නැති නම් පාසල දියුණු කර දෙන්න කියා මිස වෙනත් දෙයක් ඉල්ලවේ නැහැ.නමුත් අද අපි එතනින් එහාට ඇවිත් වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න හඳුනගන්න මහන්සි වෙනවා. ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න අපි වැඩපිළිවෙළක් හදනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දිගම්බරම් ඇමැතිවරයා අද මෙම ප්‍රදේශයේ වැසියන්ට නිවාස 50 ක් ඉදි කරන්න ඉන්දියානු රජයේ ආධාර ලැබී තිබෙනවා. පලනි දිගම්බරන් ඇමැතිවාරයා උඩරට පළාත් වල නිවාස යෝජනා ක්‍රම හදමින් විවෘත කරනවා.

අගමැතිවරයා ඉන්දියාවට ගොස් මෝදි අගමැතිතුමා සමඟ සාකච්ඡා කොට දෙවැනි නිවාස දස දහසේ යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේ මාද එම කටයුත්තට සහය දැක්වුවා. ඉන්පසුව මෙරටට පැමිණ එය ආරම්භ කළා. ඊට මාස කිපයකට පෙර ඇති වු දින පනස් දෙකේ අර්බුදය පටන්ගන්න දින කිහිපයකට කලින් ඉන්දීය අගමැති හමු වුණා. පලනි දිගම්බරම් මහතා ගෙන යන නිවාස වැඩසටහන උඩරට පළාතට වගේම දකුණු පළාතේ වතුකර ජනතාවටත් දීර්ඝ කර දෙන්න කියා මා කළ ඉල්ලීම අනුවයි මේ කාර්යය සාර්ථක කර ගැනීමට හැකි වුණේ. මේ නිවාස 50 ට අමතරව බෙවල්හි ඊළඟට නිවාස හදනවා. ඒ වගේම තවත් නිවාස 200 ක් අපිට ඉන්දියන් රජයේ ආධාර යටතේ ලැබීමට නියමිතයි.

මීට පෙර අවසන් වරට මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ වර්ෂ1980 ගණන් වල. ඒ කාලේ තේ වගා කරන්නත් වතු නිවාස හදන්නත් වැඩ සටහනක් තිබුණා. එයින් විටින් විට නිවාස හැදුවා. නමුත් මේ වගේ මහා පරිමාණයෙන් කෙළේ නැහැ. අද අපට විශාල ශක්තියක් වෙනවා. මේ වගේ වතුකරයේ ඉන්න ජනතාවට මාතර දිස්ත්‍රිකයේ දෙණියාය වැනි දුෂ්කර ප්‍රදේ‍ෙවල අබලන් තත්ත්වයේ පවතින නිවාස හදන්නඅවස්ථාවක් ලැබෙනවා. මීට සමගාමීව ඉදිරියටත් වතුකරය දියුණු කිරීමට සැළසුම් ක්‍රියාත්මකයි.

මේ කාර්යයන් සිදු කෙරෙන අතර මේ වර්ෂයේ පන්සල්, පල්ලි සහ කෝවිල් ආදී ආගමික ස්ථානවල දියුණුවට රුපියල් ලක්ෂ පහ බැගින් ලබාදීමට කටයුතු කරනවා. මෙසේ ප්‍රතිසංස්කරණය කළ යුතු ආගමික ස්ථාන සම්බන්ධයෙන් දැනටමත් හඳුනාගෙන අවසන්. මුලින් මුදල් ලබාදීමෙන් පසු වැඩසටහන් ක්‍රියාත්මක නමුත් ඒ වැඩසටහන් සිදු කිරීමට ලියාපදිංචි වූ සමිතියක් ඉදිරිපත් විය යුතුයි.

එම සමිති හරහායි එම කටයුතු සිදුකෙරෙන්නෙ. ඊට අමතරව වතුකරයේ මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය , නිවාස සඳහා සෙවිලි තහඩු ලබාදීම ආදී කටයුතු රැසක් සිදු කෙරෙනවා. මේ වැඩසටහන් මඟින් වතුකරයේ යටිතල පහසුකම් හා ජන ජීවිතය දියුණු කිරීම ආණ්ඩුවේ ප්‍රධානම අරමුණ වන අතර දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ද ප්‍රධාන කාර්යයක්.

ආසන්නයේ ඇති කොළවැනි ගම මහා විදුහල වටේ තිබෙන්නේ කුඩා වතු යායවල්. එම වතුයායේ දරුවෝ ඉගෙන ගන්නේ මේ පාසලෙන්. ඔවුන්ට දුර පාසල්වලට යෑමේ හැකියාවක් නැහැ.එමෙන්ම ද්‍රවිඩ ප්‍රාථමිකයට යන්නත් නොහැකි වුවත් සමහර ළමයි සිංහලෙන් හොඳින් අධ්‍යාපන කටයුතු කරනවා. මීට වසර තුනකට පෙර කලින් එක් ද්‍රවිඩ දරුවෙක් සමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථ 8 ක් සහ B සමාර්ථ එකක් ලබා ගත්තා.

කෙසේ වුවත් අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් කළ යුතුයි. පළාත් සභාව ද්‍රවිඩ භාෂාව උගන්වන ගුරු හිඟය ද අවම කරගත යුතුයි. මාතර මුස්ලිම් ගම්මානවලින් හෝ උතුරු නැඟෙනහිරින් හෝ දෙමළ ගුරුවරු ඇවිත් ටික කාලෙකින් දේශපාලන උදව්වකින් මාරුවක් හදාගෙන යනවා. එවිට නැවතත් ගුරු හිඟයක් ඇති වෙනවා. මෙම තත්ත්වය නැතිකර ගැනීමට ගුරු වෘත්තියට බඳවා ගැනීමේදි විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍යයි.

වර්තමානයේ වතු ආර්ථීකය පහත වැටෙමින් තිබෙනවා. උෂ්ණත්වය වැඩිවීමත් සමඟ දළු අඩුවීම නිසා වතු සමාගම් වලට තම කටයුතු කරගෙන යෑම අසීරු වී තිබෙන අතර අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන් ක්‍රමය වෙනස් කර නව ක්‍රමයකට යෑමට වතු සමාගම් උත්සහ කරනවා. මේ සඳහා තේ වගාවට උෂ්ණත්වය දරා ගැනීමට හැකි නව භේද අපට අවශ්‍යයි. එසේ නොකළොත් දීර්ඝ කාලීනව මෙම කර්මාන්තයෙන් ඉදිරියට ගමන් කිරීම අසීරුයි. මේ කර්මාන්තය කඩා වැටුනොත් දීර්ඝ කාලීන හානිය සිදු වන්නෙ මේ වතුකරයේ ජනතාවටයි. ඒ නිසා නිසි පර්යේෂණ තුළින් ඒ කටයුතු කරන්න සිදු වෙනවා. උඩරට පළාත් වලට මේ ගැටලුව නැහැ. ඒ අනුව උෂ්ණයට ඔරොත්තු දෙන ලෙස මේ ප්‍රදේශයේ තේ වගාව ආරක්ෂා කර ගැනීමේ නව ක්‍රම සඳහා පර්යේෂණාත්මක ක්‍රමවේදයකට යායුතුයි.

චන්ද්‍රකා පෙරේරා 

 


නව අදහස දක්වන්න