කොළඹ කොටස් හුවමාරුවට නව අධ්‍යක්ෂවරු | දිනමිණ

කොළඹ කොටස් හුවමාරුවට නව අධ්‍යක්ෂවරු

2019 පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දිමුතු සංජය අබේසේකර මහතා සහ මුර්තාසා ජැෆර්ජි මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වන ලදී. දිමුතු සංජය අබේසේකර මහතා :

ලොව පුරා ශාඛා ජාලයකින් සමන්විත ඇමෙරිකානු ඩොලර් බිලියන 35ක වත්කම් කළමනාකරණය සහ විශේෂඥ මුල්‍ය සේවා සපයන සමාගමක් ලෙස කිර්තීනාමයක් දිනා ඇති සමාගමක් වන සිංගප්පුරුවෙහි පිලිප් කැපිටල් සමාගමෙහි අනුබද්ධිත සමාගමක් වන ආශා පිලිප් සෙකියුරිටීස් පුද්ගලික සමාගමෙහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී ලෙස දිමුතු සංජය අබේසේකර මහතා නිලතල හොබවයි.

වර්ෂ 30ක අධික කාලයක ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව වෘත්තීමය පළපුරුදු හා අත්දැකීම්වලින් පරිපුර්ණ වූ අබේසේකර මහතා ආශා ෆයිනැන්ශල් සර්වීසස් ලිමිටඩ් සමාගමෙහිද වත්මන් අධ්‍යක්‌ෂ තනතුර හොබවයි. එසේම කොළඹ කොටස් තැරැව්කාර සංගමයේ සභාපති ලෙසද කටයුතු කර ඇති එම මහතා ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව ප්‍රවීණ වෘත්තීයවේදීයකු ලෙස වර්තමානයේ දී කොළඹ කොටස් තැරැව්කාර සංගමයට වැදගත් සේවයක් සපයයි. එම මහතා වසර ගණනාවක් පුරා ලබාදුන් අත්දැකීම් හා නායකත්ව හැකියාවට ඇඟයිමක් ලෙස කලමසු සිස්ටම්ස් පී.එල්.සී සමාගමෙහි ආරාධනාවකින් එම සමාගමේ සභාපති ධුරයද දරා ඇත.

මුර්තාසා ජැෆර්ජි මහතා :

ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ඊට සම්බන්ධ විවිධ වත්කම් ජාලයන් පිළිබඳව වසර 25ක අධික කාලයක පළපුරුද්දක් හිමි මුර්තාසා ජැෆර්ජි මහතා ජේ. බී සෙකියුරිටීස් පුද්ගලික සමාගමෙහි වත්මන් සභාපති ලෙස කටයුතු කරයි. එමෙන්ම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සෙරන්ඩිබ් හොටෙල්ස් පී.එල්.සී යන ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන එම මහතා අගෝස්තු 2007 සිට ජුලි 2009 කාලසීමාව තුල කොළඹ කොටස් හුවමාරු අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සේවය කරන ලදී.

ඕස්ට්‍රේලියාවේ නිව් සවූත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු සහ කොම්පියුටර් විද්‍යාව පිළිබඳව උපාධියකින්ද කොළඹ විශ්ව විද්‍යාලයෙන් මුල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳව Masters උපාධියකින්ද මෙතුමා පිදුම් ලබා ඇත. මුර්තාසා මහතා වරලත් මුල්‍ය විශ්ලේෂකයකු (CFA) වීම තුලින් වෘත්තීය විශිෂ්ඨත්වයෙන් සහ උසස් ආචාරධර්ම පිළිපැදීමට සැමවිට කටයුතු කරයි.

නව අදහස දක්වන්න