රෝද තුනෙන් හතරට | දිනමිණ

රෝද තුනෙන් හතරට

ධනනාත් ප්‍රනාන්දු
Advocata Institute ප්‍රධාන මෙහෙයුම් නිලධාරී

ශ්‍රී ලංකාවේ සෑම ගමකට මෙන්ම නගරයකට ත්‍රීවිල් රථය ආගන්තුක නොවන්නේ ය. දුප්පත්, පොහොසත් සෑමට පහසු ප්‍රවාහන සේවය ත්‍රීරෝද රථයයි. පසුගිය දිනක පොදු ප්‍රවාහන සේවා අතරින් කැපී පෙනෙන ස්ථානයක් ගන්නා ත්‍රීරෝද රථය වෙනුවට අලුත් වාහනයක් මිලදී ගැනීමට රජයෙන් මිලියන 02 ක ණයක් ලබා දෙන බව දැනුම් දී තිබේ.

රජය පිළිගත් පර්යේෂණ වාර්තා මඟින් තහවුරුවන ත්‍රීරෝද රථ වෙළෙඳපොළෙහි පවතින මිත්‍යා මත ,සහ ත්‍රීරෝද රථය වෙනුවට අලුත් වාහනයකට මිලියන 02 ක ණය මුදලක් ලබා දීමේ රජයේ ක්‍රියා මාර්ගය පිළිබඳව

Advocata Institute හි , ප්‍රධාන මෙහෙයුම් නිලධාරී , ධනනාත් ප්‍රනාන්දු මහතා සමඟ සිදු කළ සාකච්ජාවකි මේ.

ශ්‍රී ලංකාවේ ත්‍රීවිල් රථ හිමියන්ගේ තත්ත්වය පිළිබඳව කිව හැක්කේ කුමක් ද?

ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ තුළින් සමාජයේ ආර්ථික තත්ත්වය ඉදිරියට පැමිණෙන ආකාරය තහවුරු‍ වෙනවා. ශ්‍රී ලංකාවේ ත්‍රීවිල් තහනම් කළොත් ත්‍රීවිල් නැති වෙයි කියලා වැරදි මතයක් පවතිනවා. සමාජයේ වෙසෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ ආර්ථික මට්ටමත් සමඟ ත්‍රීවිල් රථයක් ගන්න පුළුවන්. සැබවින්ම ත්‍රීරෝද රථයක් කියලා කියන්නේ රටක, සමාජ , සංස්කෘතික සහ ආර්ථික පරිසරය නිරූපණය කරන්නක් .

සෑම කාර්යයකටම අවශ්‍ය කරන පොදු ප්‍රවාහන සේවයක් ලෙසත් ත්‍රීරෝද රථ සේවාව හදුන්වා දීමට පුළුවන්. විශාල ප්‍රමාණයේ වාහනවලට ගමන් කළ නොහැකි මාර්ගවල ත්‍රීරෝද රථවලට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඇතැම් විට නිවෙස් අසළටම ළඟා වීමටත් හැකියාව ලැබෙනවා. අද වන විට ආයෝජනය , මිනිසුන් ස්වයං ව්‍යාපාර, විවිධ සේවාවන් ලබා දීම්, මෙන් ම ආත්මාභිමානය සඳහා ත්‍රීරෝද රථ භාවිතා කරනවා. එලෙස තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයාගේ සමාජ අවශ්‍යතාවය මතයි.

ත්‍රීවිල් රථ රියදුරන් කිසිම විටක දී කොන් කිරීම නොකළ යුතුයි. ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ කියන්නේ වඩාත් ප්‍රයෝජනවත් වාහනයක්. මට මතකයි, අපේ ගමේ , ඒ කාලේ බස් රථ සේවාව දුර්වලව පැවතුණ නිසා , ත්‍රීවිල් රියදුරන්, ප්‍රවාහනය ඇරඹීමට පුද්ගලයන් තුන් දෙනෙක් එනකම් සිටිනවා .ඒ අයුරින් ඔවුන් එක් පුද්ගලයකුගෙන් රු 10 වගේ මුදලක් තමයි අරගත්තේ . ඔවුන් එළෙස එලදායී දෙයක් සිදු කළේ ගමේ බස් රථ සේවාවේ තිබුණූ දුර්වලකමට කදිම පිළිතුරක් ලබා දීම සඳහා යි.

තරුණ පරපුර අද වන විට ත්‍රීරෝද රථ රියදුරන් වීමට දක්වන කැමැත්ත කෙබඳු ද?

2012 වර්ෂයේ සිට 2017 දක්වා ලියාපදිංචි වූ ත්‍රීරෝද රථ සංඛ්‍යාව 372,740 පමණ අගයක් ගන්නවා . 2018 දී මෙම සංඛාව මිලියන 1 දක්වා වර්ධනය වී ඇති බව Institute of Policy Studies of Sri Lanka (IPS) මඟින් පෙන්වා දී තිබෙනවා. අද වන විට ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් මිත්‍යා මත බොහෝමයක් පවතිනවා. අවුරුදු 25 ට වඩා වැඩි ත්‍රීරෝද රථ රියදුරන් වැඩි වශයෙන් සිටිනවා යැයි පවසා, තරුණ පරපුර ත්‍රීවිල් රියදුරු සේවයට වැඩිපුර ඇල්මක් දක්වනවා කියන එක වැරදි මතයක්. 2013 - 2016 ( labour force survey ) දත්ත මඟින් ත්‍රීවිල් රියදුරු සේවයේ සිටින අය බොහෝමයක් අවුරුදු 30-34 වයස්වල පිරිස බව හෙළි වුණා.අවුරුදු 30-34 යනුවෙන් අප හදුන්වන්නේ තරුණබවින් පරිණත වී පවතින , තමන්ගේ ජීවන අවශ්‍යතා යම්තාක් දුරට සපුරාගෙන සිටින වයස් කාණ්ඩයක් ලෙසටයි.

2010 සිට 2018 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ 8 ගුණයකින් වර්ධනය වී පවතිනවා. දැනට ලංකාවේ ත්‍රීරෝද රථ මිලියන 1 ක් පමණ තිබෙන බව තමයි සමීක්ෂණ වාර්තා මඟින් තහවුරු වී තියෙන්නේ. මෙලෙස බලන විට තරුණ පරපුර යම්තාක් දුරකට ත්‍රීවිල් රියදුරන් ලෙස තම වෘත්තීය සිදු කළත් වැඩිවශයෙන් සමාජයේ සිටින්නේ තරුණ පිරිස බවට කියන මතය නම් වැරදි මිත්‍යාවක්.

ත්‍රීරෝද රථ පිළිබඳව දරණ ඇතැම් අදහස්වල කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. රජයේ පිළිගත් සමීක්ෂණවලින් ත්‍රීවිල්වලින් සිදු වන අනතුරුවලට වඩා මෝටර් සයිකල්වලින් සහ ලොරි රථවලින් සිදු වන අනතුරු වැඩි වී තිබෙන බව තහවුරු කර ගෙන තියෙනවා.ඒ නිසා මිත්‍යාවන්ට ඇබ්බැහි නොවී නිරවුල් මනසින් ත්‍රීරෝද රථ සේවාව පවත්වා ගෙන යනවා නම් වඩාත් හිතකර ප්‍රතිඑල ඇති කර ගැනීමට හැකි වනවා.

නූතන වෙළෙඳපොළ හමුවේ ආකර්ෂණීය අයුරින් ත්‍රීරෝද රථ ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබ දක්වන අදහස කුමක් ද?

නූතන වෙ‍ළෙඳපළ තුළ දී ආකර්ෂණීය ලෙස ත්‍රීරෝද රථ පවත්වාගෙන යාම වර්තමානය වන විට දී සිදු කරගෙන යන දෙයක් බවට පත්ව ති‍බෙනවා. ඉලෙක්ට්‍රොනික් ත්‍රීරෝද රථ, හයිබ්‍රිඩ් ත්‍රීරෝද රථ, සංචාරක කර්මාන්තයට ඹබින ආකාරයේ ත්‍රීරෝද යන විවිධ මාදිලියේ ත්‍රීරෝද රථ සමාජයේ ත්‍රීරෝද රථ සංස්කෘතිය ඉදිරියට ගෙන ඒමට දායක කර ගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් නුවර, ඇල්ල යන ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානවල විවිධ ස්ථානවල ගමන් ගන්නා සංචාරකයින් බෝහෝමයක් වර්තමානයේ දී භාවිතා කරන්නේ ත්‍රීරෝද රථයි. ඒ නිසාම එවැනි ප්‍රචලිත සංචාරක ස්ථානවලදී ත්‍රීරෝද රථ රියදුරන් තම තමන්ට ආවේණික වූ ක්‍රමවේද භාවිතා කරනවා. ඒ වාගේම නුතන වෙළෙඳපළ හමුවේ ආකර්ෂණීය ලෙස ත්‍රීරෝද රථය ඉදිරිපත් කිරීම සඳහා , එහි ආරක්ෂිතබව, සෞඛ්‍යසම්පන්නබව, ( කොන්දට සුවදායී වන අන්දමේ ආසන භාවිතය ) යනාදීය පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. වෙළෙඳපළ හමුවේ නිදහස් , නිරවුල් මනසකින් සිතා නවමු අන්දමේ සංකල්පයන්ට අනුව ත්‍රීරෝද රථය නිර්මාණය කිරීමට උත්සාහ ගන්නවා ත්‍රීවිල් රථ රියදුරන් තම වෘත්තීය පිළිබඳවත් සාධනීය ලෙස කටයුතු කරයි කියා සිතන්න පුළුවන්.

පසුගිය දා ත්‍රීරෝද රථය වෙනුවට අලුත් වාහනයකට මිලියන 02 ක ණයක් ලබා දෙන බව රජයෙන් දැනුම් දුන්නා. ඒ පිළිබදව ඔබට කිව හැක්කේ කුමක් ද?

ඇත්තටම මෙය වඩාත් ප්‍රගතිශීලී දෙයක් වනවා. මේ දෙස බලන විට අපිට අවධානය යොමු විය යුතු පැතිකඩ ගණනාවක් තියනවා. ඉස්සෙල්ලම මේ ණය මුදල ලබා දෙන්නේ කාගේ මුදලින් ද යන්න වග පැහැදිලිව අවබෝධ කර ගත යුතු වනවා. ඊට පස්සේ මෙම ණය මුදල ආරක්ෂිතව, එල ප්‍රයෝජනවත් ලෙස යෙදවීම කළ යුතු වනවා. ත්‍රීවිල් එකෙන් රුපියල් 60 ක් දීලා, කිලෝ මීටර් එකක් ගමන් කරන්න පුළුවන් වුණත් , ලක්ෂ 2 ක් දීලා කාර් එකක් අරන් කෙනෙකුට රුපියල් 100 ක් දීලා තමයි කිලෝ මීටරයක් ගමන් කරන්න පුළුවන් වන්නේ. ඒ හින්දා, ත්‍රීරෝද රථයෙයි, කාර් එකකයි වෙනස මැනවින් වටහා ගෙන තමන්ගේ ආර්ථික මට්ටමට ගැළපෙන ලෙස මෙම ක්‍රියාවලියට අනුගත වීම තමයි වඩාත් සුදුසු වන්නේ. මෙයත් එක් එක් පුද්ගලයින්ගේ සිතුවිලි ආකල්ප, අවශ්‍යතා අනුව තීරණය කර ගත යුතු දෙයක්.

සමාජයේ ත්‍රීවිල් රියදුරන් පිළිබඳ ඇතැම් පුද්ගලයින් බලන්නේ වැරදි ආකල්පයකින්. එය නිවැරදි කළ හැක්කේ කෙසේ ද?

මේ සමාජයේ සෑම පුද්ගලයෙකුටම නිසි අධ්‍යාපන මට්ටමක් ලබා තිබිය යුතු වනවා. කවුරුවත්, කිසිවකු උප්පත්තියේ පටන්ම , මම කවදා හරි දවසක මේ සමාජයේ ත්‍රීවිල් රියදුරෙක් බවට පත් වනවා කියලා සිතන්නේ නැහැ. තමන්ගේ අවශ්‍යතාවය, තමන්ගේ දක්ෂතාවය, හැකියාව, අධ්‍යාපන ම්ට්ටම, රැකියාවට තියෙන කැමැත්ත යන සාධක අනුව තමයි තමන් කරන්නේ කුමන රැකියාවක් ද කියලා තීරණය වන්නේ.

විදේශ රටවලට ගිහින් අපේ ශ්‍රී ලාංකිකයන් අතු ගාන රැකියාව කරනවා. අපේ රටේ නම් අතුගානවා , කියන්නේ පහත් රැකියාවක්. ඒත් විදේශ රටවලට ගිහින් අපේ ලාංකිකයන් වැඩි පඩියක් අරගෙන ඒ රැකියාව කරනවා. ඒ රටවල්වල මිනිසුන් අපේ රටේ මිනිසුන් ලංකාවට එනකොට , ඹයා අපේ රටේ අතුගාලා නේද යන්නේ කියලා අහන්නේ නැහැ. ඒ වගේ තමයි , කිසිම පුද්ගලයෙක් තමන් ත්‍රීරෝද රථ රියදුරෙක් කියලා සමාජයේ පහත් මට්ටමකට පත් විය යුතු වන්නේ නැහැ. කුමන ක්ෂේත්‍රයේ රැකියාවක් කළත්, අවංකව, සාධාරණව, කරන දේ හරියට කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වන්නේ නැහැ. අප රටේ ගුවන් නියමුවන්ට, උස ගොඩනැගිලිවල වීදුරු පිසින්නන්ට, කන්ටේනර් රියදුරුවරුන් යන වැඩි අවධානමක් ගන්නා රැකියාවල නිරත වන පුද්ගලයින්ට වැඩි පඩියක් ලබා දෙනවා. ඒ වගේ එක් එක් සාධක අනුව තමයි , ජීවනෝපාය සරි කර ගැනීම සඳහා , රැකියා අවස්ථා ලබා ගැනීම සිදු වන්නේ. කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ රියදුරන් එක රාමුවකට කොටු වී නොසිට , තමන්ට කළ හැකි දෑ කල්පනා කර, ආත්ම තෘප්තියට අනුව ඉදිරි තීරණ ගන්නවා නම් වඩාත් හිතකර ප්‍රතිඑල උදාකර ගෙන ප්‍රගතිශීලීභාවයක් අත් කර ගත හැකි යි.

සටහන- මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න