ලැබන අව­ස්ථාව හොඳ ම අව­ස්ථාව | දිනමිණ

ලැබන අව­ස්ථාව හොඳ ම අව­ස්ථාව

Harshi Anjumala

 

 මේ වෘත්තිය එක එක්කෙනා තමන්ගෙ ජීවිතයට ළං කරගෙන තියෙන විදිහවල් වෙනස්. මම මේ ක්ෂේත්‍රය තෝරගෙන තියෙන්නෙ, මගේ විනෝදාංශය හා මගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් තැනක් විදිහටයි. ඒත් අපි හැමෝම, ලස්සනට අඳින්න, තමන්ටම කියලා වාහනයක් පාවිචිචි කරන්න කැමැතියි. ඒක නළුවෙක්, නිළියක් කියලා නැහැ. තමන්ට කියලා දෙයක් කර ගන්න පුළුවන් කාලෙක, තමන්ට ලස්සන ජීවිතයක් හදාගන්න එක ඕනැම කෙනකුට පොදු දෙයක්.

 

ඔබගේ ගමනේ ආරම්භය ලිට්ල් ස්ටාර් තරගයද?

මාධ්‍ය තුළ මගේ නම ජනප්‍රිය වුණේ, ලිට්ල් ස්ටාර් තරගයේ අවුරුදු දොළහෙන් පහළ නර්ථන තරගයේ ජනප්‍රිය තාරකාව වීමත් සමඟයි. ඒත්, ලිට්ල් ස්ටාර් තරගයට එන්න කලින්, සිරස නාලිකාවේ ඒකාංගික ටෙලි නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබුණා. පහුගිය කාලයේ සිඳු ටෙලි නාට්‍ය ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය බවට පත් වුණා. ඒ වෙනකොට, සිදු ටෙලි නාට්‍යයේ චරිතයක රඟපාන්න මටත් කැමැත්තක් ඇති වුණා. ඒ වෙද්දි මගේ හොඳ ම මිතුරියක් වන මනීෂා චංචලාත් ඒකෙ රඟපාමින් හිටියා. මට රඟපාන්න කැමැත්තක් ඇතිවෙලා තියෙන කාලෙම, ලිට්ල් ස්ටාර් තරගය හරහා තිබුණ දැනහැඳුනුම්කම් නිසා, සිදු ටෙලි නාට්‍යයේ ගයනිගෙ චරිතයට ආරාධනාවක් ලැබුණා.

සිදුගෙන් පසුව ඔබට ටෙලි හා සිනමා මාධ්‍යයෙන් දිගටම ඇරියුම් ලැබුණද?

රංගනයට ඇවිත් අවුරුද්දක් විතර ගතවෙනකන් ම මම සිඳු ටෙලි නාට්‍යයේ විතරයි රඟපෑවෙ. ඊට පස්සෙ මට රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල නිරූපණය කරන්න අවස්ථාවක් ලැබුණා. ඊට පස්සෙ, වෙනත් ටෙලි නාට්‍යවල රඟපාන්න පටන් ගත්තා. මේ දවස්වල සිදු ටෙලි නාට්‍යයට අමතරව, 'කණාමැදිරියෝ' ,'දෙයියන්ගෙ රටේ' ටෙලි නාට්‍ය මඟින් මා ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා. මේ ‍වනවිට තවත් ටෙලි නාට්‍ය දෙකක රඟපාන්න මම කැමැත්ත ප්‍රකාශ කරලා ඉන්නෙ. මේ මාසෙ ඒවායේ රූගත කිරීම් පටන් ගන්නවා.

මේ වෙද්දි සිනමාවේත් වැඩ කිහිපයකටම ඇරියුම් ලැබිලා තියෙනවා. ඒවා මට ගැළපෙන හොඳ නිර්මාණ නම්, තෝර බේරගෙන, ඉදිරියෙදි ඒවට සම්බන්ධ වෙන්න අදහසක් තිබෙනවා. දැනට බාරගෙන තියෙන වැඩවලට යනවා. බාර අරගෙන තියෙන වැඩවලට කාලය වෙන් කරගෙන තමයි, දැනට ඇරියුම් ලැබිලා තියෙන වැඩවලට දින දෙන්න වෙන්නෙ. වැඩ ගොඩක් බදාගෙන කරන්න මම කැමැති නැහැ. මට තවම අවුරුදු 22 යි. මගේ ප්‍රධාන අරමුණ, අධ්‍යාපන කටයුතු කරගෙන යාමයි. ඒ අතරතුරේදි තමයි රඟපාන්නෙ .

 

රංගනයට ඒමත් සමඟ ජනප්‍රිය වන ඔබ, කාලයක් යනතුරු සිඳු ටෙලි නාට්‍යයට පමණක් සීමා වුණේ ඇයි?

රංගනයට එනකොට, මම මගේ විශ්විද්‍යාලයෙ පළමු වසර ගත කරමින් හිටියෙ. ඒ කාලයෙ බොහෝ වෙලාවට දේශන මඟහරිමින්, වෙනත් වැඩවලට යන්න මගේ කැමැත්තක් තිබුණෙ නැහැ. ලැබුණු වැඩ අතරින්, මට මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන, වැඩ කරගෙන යන්න අවකාශ ලැබුණෙ සිඳු ටෙලි නාට්‍යයෙන් විතරයි.

ඔබගේ ඉදිරි අපේක්ෂා මොනවද?

මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අංශයෙන් මගේ උපාධිය සඳහා අධ්‍යාපන කටයුතු කරමින් සිටින්නෙ. මගේ ආසන්නම බලාපොරොත්තුව, ප්‍රථම පෙළ සමාර්ථයක් සමඟින්, මගේ උපාධිය සම්පූර්ණ කරන එකයි. අධ්‍යාපන කටයුතු කරන ගමන්, මම රංගනයත් කරගෙන යනවා. මම දැන් පසු කරන්නෙ මගේ රංගන දිවියෙ මුල් අවධිය. රංගනය කියන්නෙ, අධ්‍යාපනයට අමතරව මගේ දිවියේ දක්ෂතාව හා විනෝදාංශය සඳහා තෝරාගෙන තියෙන මාධ්‍යයි. අනාගතයේදී, උපාධිය අවසන් කරලා, ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

'ගයනි' කියන්නෙ, ඔබට කියන තවත් නමක් තරමටම, ඔබ මිනිස්සු අතර ජනප්‍රිය කළ චරිතයක් නේද?

ඔව්. සිඳු තෝරා ගත්තෙ. ඒ නිසා මම මොන තැනට ගියත්, සිඳු ටෙලි නාට්‍ය ගැන ගෞරවයෙන් මතක් කරනවා. සිදු ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ තිලිණ බොරලැස්ස අයියා මට බෙහෙවින් ම උදවු කළා. ඒ විතරක් නෙමෙයි, සිඳු හි නිෂ්පාදන කණ්ඩායම, මම මේ අවස්ථාවෙ මතක් කරනවා.

ඔබට තවමත් ලැබෙන්නෙ ගයනිට සමාන චරිතද?

බොහෝ වෙලාවට ගයනි වගේ දඟකාර, කටකාර චරිතවලට වැඩිපුර කතා කරනවා. හැබයි, මෑත කාලයෙ මට ලැබුණු 'කණාමැදිරියො' ටෙලි නාට්‍යයේ මම කරන්නෙ, වෙනස්ම චරිතයක්.

ඔබට කලාව විනෝදාංශයක් පමණක්මද? ඔබ මෙයින් කිසියම් ඉපැයීමක් නොකරන බවද පවසන්නෙ?

මේ වෘත්තිය එක එක්කෙනා තමන්ගෙ ජීවිතයට ළං කරගෙන තියෙන විදිහවල් වෙනස්. මම මේ ක්ෂේත්‍රය තෝරගෙන තියෙන්නෙ, මගේ විනෝදාංශය හා මගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් තැනක් විදිහටයි. ඒත් අපි හැමෝම, ලස්සනට අඳින්න, තමන්ටම කියලා වාහනයක් පාවිචිචි කරන්න කැමැතියි. ඒක නළුවෙක්, නිළියක් කියලා නැහැ. තමන්ට කියලා දෙයක් කර ගන්න පුළුවන් කාලෙක, තමන්ට ලස්සන ජීවිතයක් හදාගන්න එක ඕනැම කෙනකුට පොදු දෙයක්. මටම කියලා වාහනයක් ගන්න එක, මගෙත් එක හීනයක්. මම මෙයින් මුදල් උපයනවා. මම දැන් මගේ අධ්‍යාපන කටයුතු ගැන බොහෝ දුරට කර ගන්නේ මගේ මුදල්වලින්. තාත්තා මට වියදම් නොකරනවා ම නෙමෙයි. ඒත්, මේ තැනට මා ගේන්න, මගේ තාත්තා මං වෙනුවෙන් බොහෝ සේ වියදම් කර තිබෙනවා. ලිට්ල් ස්ටාර් තරගය වෙනුවෙන් අපට ඇඳුම් පැලඳුම්වලට, ගමන් බිමන්වලට බොහෝ සේ වියදම් කරන්න සිදු වුණා. ඒ නිසා මම, මේ මඟින් උපයන මුදල මට වටිනවා.

ඔබගේ ජීවන තොතුරු ගැන පැවසුවොත්?

මම පාසල් ගියෙ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයට. ගම රත්නපුර නිවිතිගල. මගේ තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක්.අම්ම රැකියාවක් කරන්නෙ නැහැ. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. එයාලා කලාවට ආවෙ නැහැ. ඒ අය අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. දැන් චූටි අක්කා ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ.

රත්නපුරේ ඉඳන් කොළඹ ඇවිත්, කලා ලෝකයේ තරුවක් වීම, ඔබට ලෙහෙසි පහසු දෙයක් වුණාද?

මම නිවිතිගල ඉඳන් කොළඹ එන්න පටන් ගත්තෙ අවුරුදු එකොළහෙදි. පොඩි කාලෙ හරි ම දුෂ්කරයි . ලිටට්ල් ස්ටාර් එන කාලෙ මම ගොඩක් පුංචියිනෙ. මට පළමු වතාවෙන් ම විශ්විද්‍යාලයට එන්න ලැබුණෙ, ඒ වගේ තරගවලට ගිහින්, බස් එකේ එන ගමන් පාඩම් කරලා, විභාගවලටත් ගිහින්, අධ්‍යාපනය කඩාපකප්පල් කර ගත්තෙ නැති නිසයි. මේ හැම දෙයක් පිටිප්සසෙම අම්මා හිටියා. මගේ උසස් පෙළ විෂයයන් තෝරලා දුන්නෙත් මගේ අම්මා ම තමයි.

ඔබ, රංගනයට පමණක් අයිති කෙනෙක් වෙලා ඉන්න අකමැති හැඩයි?

මම රංගනයට කැමැතියි. මම අධ්‍යාපනයෙන් ඉහළට ගියත්, රංගනය දිගටම කරගෙන යන්නයි අදහස් කරගෙන ඉන්නෙ. මම පාසල් යන කාලෙ, මගේ පන්තියේ භාෂාවලට දක්ෂම සිසුවිය වුණේ මම. මම ජපන් භාෂාව හැදැරුවා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජපන් භාෂා විභාග අදියර පහක් තියෙනවා. එයින් අදියර තුනක් කරලයි ඉන්නෙ. ඉතිරි අදිර දෙක ඉදිරියේදි සම්පුර්ණ කරන්න ඕනැ. ඒ වගේම මම, තවමත් නර්ථනය අතහැරලා නැහැ. මම නර්ථන ශිල්පිනියක් විදිහට කටයුතු නොකළට, මගේ නැටුම් පන්තිවලට යන්න මම ඉරිදා දවස වෙන් කරලා තියෙන්නෙ. මට පුළුවන් වුණොත්, මේ අවරුදු දෙක ඇතුළත මගෙ ජපන් විභාග දෙකයි, නර්ථන විශාරද විභාගයයි කරනවා. ඒත්, මම මේ දේවල් කරන්න කලබල වෙන්නෙ නැහැ. ඒ, මට තව වයස තියෙන නිසයි. මට තවම වයස 22 යි.

නවකයකුට මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්න, දැන හැඳුනුම්කම් බලපාන්නෙ කොහොමද?

දවසින් දවස රංගනයට අලූත් අය එනවා. ඒ එන තරමට රැඳී සිටින්නෙ නැහැ. රංගනයට කැමැත්තක් තියෙන්න ඕනැ. ඊට අමතරව උනන්දුව, කැපවීම, දක්ෂතාව මත තමයි පැවැත්ම තියෙන්න. මට, මම වැඩ කරපු කිසි ම තැනක ඔය කවුරුවත් කියන විදිහෙ අයුතු යෝජනා ඇවිත් නැහැ. මිනිස්සුන්ට ඕන තරම් කතන්දර කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට, මම මගේ පරම්පරාවෙ තරුණ නළුවෙක් එක්ක වැඩ කිහිපයක හිටියොත්, ඔහු සමඟ සම්බන්ධ කරලා කතන්දර හදන්න තරම් පහත් තැනකට වැටුණු මිනිස්සු, අප අතර ඉන්නවා. මිනිස්සු, තමන් වැරැදි කරනවා නම්, අනෙක් අය දිහා බලන්නෙත් ඒ විදිහටමයි. මම ඒකට හරි ම විරුද්ධයි. මගේ අම්මවත්, මමවත් මේ ක්ෂේත‍්‍රයේ සම්බන්ධයක් ඇතිකරගෙන, ඒ සබඳතාවයේ පිහිටෙන් මෙතැනට ඇවිත් නැහැ. මට ලැබන අවස්ථාව හොඳ ම අවස්ථාව විදිහට බාර අරගෙන, කැපවීමෙන්, වෙහෙස වෙලා වැඩ කළ නිසා, මම මේ ගමන ආවා .

ධම්මිකා සුරංජි පති­රණ

සංස්කරණය 

 

ඉරෝෂිණී දීපිකා
 

නව අදහස දක්වන්න