අන්ත­ර්ජා­තික මවු භාෂා දිනය | දිනමිණ


 

අන්ත­ර්ජා­තික මවු භාෂා දිනය

 

 

ලෝකයේ රටවල් කිහිපයක්ම අන්තර්ජාතික මවු භාෂා දිනය සමරති. ශ්‍රී ලංකාවේ අප අන්තර්ජාතික මවු භාෂා දිනය ගැන කතා කරන්නේ අඩුවෙනි. එසේ වුවත්, එය ඉතා වැදගත් අර්ථයක් ඉස්මතු කරන දිනයකි. අන්තර්ජාතික භාෂා දිනය පැවැත්වීමෙහි වැදගත්කම හුවා දැක්වෙන කරණු කිහිපයක් පහත දැක්වේ.

 

සෑම වසරකම පෙබරවාරි 21 වැනිදාට අන්තර්ජාතික මවු භාෂා දිනය යෙදේ. මේ දිනය පළමුවෙන්ම ප්‍රකාශයට පත් කළේ 1999 වසරේ නොවැම්බර් 17වැනිදා ය. ඒ සඳහා මුල් වුණේ, යුනෙස්කෝ සංවිධානයයි. ඒ අනුව 2000 වසරේ සිට සෑම වසරක් පාසාම අන්තර්ජාතික මවු භාෂා දිනය පැවැත් වේ. අන්තර්ජාතික මවු භාෂා දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙහි අරමුණ, සාමය ස්ථාපනය කිරීම, බහු භාෂා භාවිතය ප්‍රවර්ධනය සහ ලොව පුරා ඇති මවු භාෂා ආරක්ෂා කිරීම යන කාරණායි. යුනෙස්කෝ සංවිධානය මඟින් ප්‍රකාශිත එකී අරමුණුවලට සමගාමීව, 2008 වර්ෂය අන්තර්ජාතික භාෂා වර්ෂය ලෙස නම් කෙරිණි.

 

අන්තර්ජාතික මවු භාෂා දිනය පෙබරවාරි 21 වැනිදාට යෙදී තිබෙන්නේ ඇයි?

එක්දහස් නවසිය හතළිස් ගණන් අග භාගය වනතුරු බංගලිදේශය සහ පාකිස්තානය වශයෙන් රටවල් දෙකක නොපැවතියේ ය. අද වනවිට එම රටවලට අයත් පෙදෙසෙහි වැඩිපුර භාවිතයට ගැනෙන්නේ උර්දු බසයි. 1947 වසරේදී එම පෙදෙස මුල් කරගෙන පාකිස්තානය ස්ථාපනය වීමත් සමඟම, අද බංගලිදේශය වශයෙන් හැඳින්වෙන ප්‍රදේශය නැඟෙනහිර පාකිස්තානය ලෙස ප්‍රකට විය. නැඟෙනහිර බෙංගාලය වශයෙන් නම් කර තිබුණේ ද එකී ප්‍රදේශය ම ය. එහි ජනයා බෙංගාලි බස නිල භාෂාව හැටියට ප්‍රකාශයට පත් කර ගැනීම සඳහා විශාල අරගලයක් ගෙන ගියහ. බෙංගාලි භාෂා ව්‍යාපාරය යනුවෙන් හැඳින්වෙන්නේ ද එකී අරගලයයි. මේ අරගලය 1952 වසරේ පෙබරවාරි 21 වැනිදා බෙහෙවින්ම තීරණාත්මක තැනෙකට ළඟා වූයේ ය. බෙංගාලි භාෂාව නිල භාෂාව ලෙස පිළිගත යුතුයැයි පවසමින්, ඩකා විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන ඇතිවුණු නොසන්සුන්තාවක් නිසා, උද්ඝෝෂණ සහ විරෝධය පෑමේ රැළි ආරම්භ විය. මේ විරෝධතා ව්‍යාපාර දින කිහිපයක් පැවැතියේ ය. පාකිස්තාන දේශපාලනඥයන්ගේ මැදිහත් වීම මත, බෙංගාලි භාෂාව රාජ්‍යය භාෂාවක් ලෙස පිළිගන්නා බව අවසානයේදී ප්‍රකාශයට පත් කෙරිණ. එකී අරගලය සිහි ගන්වනු වස්, අන්තර්ජාතික මවු භාෂා දිනය හැටියට පෙබරවාරි 21 වැනිදා යොදාගත් බව සඳහන් වේ.

අන්තර්ජාතික භාෂා දිනයක් අවශ්‍ය ඇයි?

අන්තර්ජාතික භාෂා දිනය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණක් වන්නේ, භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කිරීමයි. මවු භාෂාව පිළිබඳ දැනුම ඒකරාශී කිරීම එමඟින් අවධාරණය කෙරේ. එසේ වුවත්, කෙනකුට භාෂා දෙකක් හෝ එයට වඩා වැඩි සංඛ්‍යාවක් ඉගෙනීමට සහ භාවිත කිරීමට ඇති අයිතිය, යුනෙස්කෝ සංවිධානය බැහැර කරන්නේ නැත. එනයින් මවු භාෂාව කෙනකුට කෙතරම් වැදගත්දැයි කියා සිතා ගන්නට පුළුවන. නෙල්සන් මැන්ඩෙලා පවසා ඇති අන්දමට, කිසිවකුට තේරුම් ගත හැකි භාෂාවක් භාවිතයෙන් කිසිවක් පැවසුවහොත්, ඒ පණිවිඩය එම පුද්ගලයාගේ හිසට (මොළයට) ගමන් කරයි. එහෙත්, ඒ පුද්ගලයාට ඒ පණිවිඩයම කියන්නට ඔබ ඒ පුද්ගලයාගේ භාෂාව භාවිතයට ගන්නේ නම්, පණිවිඩය ඔහුගේ හදවතට ළඟා වන බව මැන්ඩෙලා පෙන්වා දී ඇත.

මවු භාෂාවන් අනතුරේ!

භාෂාමය විවිධත්වය වැඩි වනවිට, මවු භාෂා රාශියක් අනතුරට පවත්වන්නට පටන් ගත් බව, භාෂා පිළිබඳ විද්‍යාඥයෝ පෙන්වා දෙති. එසේ ම, ලෝක ජනගහනයෙන් 40%කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන්නේ තමන්ගේ මවු භාෂාවෙන් නොවන බව ද අනාවරණය වී ඇත. ලෝකයෙහි දැනට භාෂා 7,000කට ආසන්න සංඛ්‍යාවක් පවත්නා බව පැවසේ. මෙයින් 43%කට ආසන්න ප්‍රමාණයක් වඳ වී යන තත්ත්වයට පත්ව ඇති බව, භාෂා විද්‍යාඥයෝ පවසති. ලොව පවත්නා සමස්ත භාෂා සංඛ්‍යාවෙන් භාෂා සිය ගණනකට ආසන්න සංඛ්‍යාවක් පමණක් ඒ ඒ භාෂාවන් භාවිතයට ගැනෙන රටවල අධ්‍යාපන පද්ධතියට ඇතුළත්ව තිබේ. එහි බරපතළකම කෙතෙක්ද යත්, දැනට භාවිතයේ ඇති භාෂාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් 2050 වනවිට වඳ වී යනු ඇතැයි අනාවැකි පළ වේ.

වඳ වී යන භාෂා සහ මළ භාෂා

වඳ වී යන භාෂා (Extinct Languages) සහ මළ භාෂා (Dead Languages) යනුවෙන් වචන දෙකක් භාෂා සම්බන්ධයෙන් භාවිතයට ගැනේ. මේ වචන දෙකෙන් මතු කෙරෙන අර්ථ එකිනෙකට වෙනස් ය. එසේ වුවත් එය තරමක් පැටලිලි සහිත ය. මළ භාෂා යනුවෙන් හැඳින්වෙන භාෂා, එකී භාෂාව අයත් ප්‍රජාව තුළ මේ වනවිට භාවිතයට නොගැනේ. එසේ වුවත්, වෙනත් සන්දර්භ තුළ ඒ භාෂාව භාවිතයට ගැනෙනවා වන්නට පුළුවන. කිසියම් ප්‍රජාවකට අයත්, එහෙත් එහි දැනට නොපවතින භාෂාවක්, වෙනත් සන්දර්භයක් තුළ පාවිච්චිය වන්නේ අධ්‍යාපනික අවශ්‍යතාවලදී හෝ වෙනත් විශේෂ අවශ්‍යතාවලදී හෝ පමණි. නිදසුනක් හැටියට ලතින් භාෂාව දක්වන්නට පුළුවන. එය පුරාණ ඉතාලියේ භාවිත වූ භාෂාවයි. එම මුල් සාමාජිකයන් ලතින් භාෂාව දැන් වහරන්නේ නැත. එසේ වුවත්, වතිකාන නගරයේ ලතින් භාෂාව භාවිතයට ගැනේ. කොප්ටික් (coptic), මැන්ඩන් (mandan ), සංස්කෘත, ගොතික් (gothik) සහ පැරැණි ග්‍රීක භාෂා ද මළ භාෂා සඳහා තවත් උදාහරණ කිහිපයකි.

වඳ වී යන භාෂා

වඳ වී ගිය භාෂා යනුවෙන් හැඳින්වෙන්නේ, දැනට කෙසේවත් භාවිතයට නොගන්නා භාෂා ය. කාලයක් පරිහරණය කෙරුණු භාෂාවක් ලෝකයෙහි කිසිදු තැනෙක වෙසෙන ප්‍රජාවක් අද වනවිට භාවිතයට නොගන්නේ නම්, එවැනි භාෂාවක් වඳ වී ගිය භාෂාවක් හැටියට සැලකේ. ලෝක ප්‍රකට "නැෂනල් ජියෝග්‍රෆික්" සඟරාව පෙන්වා දෙන අන්දමට, ලොව කොතැනක හෝ පවත්නා මවු භාෂාවක්, සෑම දින 14කට වරක් මිය යමින් තිබේ. එසේ මිය යන භාෂාවලින් වැඩි ප්‍රමාණයක්, වඳ වී ගිය භාෂා ගොනුවට ඇතුළත් වේ.

වඳ වී ගිය භාෂාවකට නිදසුනක් හැටියට ඇලස්කාවේ පාවිච්චි වුණු "එයාක්" (eyak) භාෂාව දක්වන්නට පුළුවන. මේ භාෂාව කතා කළ ලොව අවසන් පුද්ගලයා වූයේ, මාරි ස්මිත් ජොනීස් ය. අසූ නව හැවිරිදි වියේ පසු වූ මාරි, 2008 වසරේදී ජීවිතක්ෂය පත් විය. මාරිට දරුවන් නව දෙනකු සිටියත්, ඒ කිසිවකු එයාක් බස කතා කරන්නට ඉගෙන ගත්තේ නැත. එයාක් බස ලොව අද කිසිදු තැනෙක භාවිතයට ගැනෙන්නේ නැත.

භාෂාවක් නැත්තටම නැති වී යෑම

භාෂාවක් මළ භාෂාවක් බවට හෝ වඳ වී ගිය භාෂාවක් බවට හෝ පත් වන්නේ, එම මවු භාෂාව කතා කළ අවසන් පුද්ගලයාත් එකී ප්‍රජාවෙන් ඉවත් වීමත් සමඟයි. එම මවු භාෂාව කතා කළ අවසන් පුද්ගලයා ජීවිතක්ෂයට පත් වීම නිසා, එකී තත්ත්වය උදා වනවාට සැකයක් නැත. මවු භාෂාවක්, එය භාවිත කරන අවසන් පුද්ගලයා දක්වා ක්ෂීණ වී යන්නට හේතු කිහිපයකුත් තිබේ. ඒ අතර, සුළු භාෂා, ප්‍රධාන භාෂා අවශෝෂණය කිරීම ප්‍රකට ය. එවිට සුළු භාෂාව භාවිතයට ගැනීමට අලුත් පරම්පරා නැඹුරු නොවේ. තවත් සමහර මවු භාෂා වඳ වී යන්නේ, එම ප්‍රජාවේ සිටින සාමාජිකයන්ම එම භාෂාව පරිහරණය කිරීම අත්හැර දැමීම නිසා ය. මේ අත්හැර දැමීම එම ප්‍රජාවේ කැමැත්ත මත හෝ වෙනත් ප්‍රජාවක හෝ ජාතියක හෝ බලකිරීම සහ බලපෑම් මත සිදු වන්නට පුළුවන.

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි
මංජුලා විජ­ය­රත්න

නව අදහස දක්වන්න