මත්රකුසා මැඬීමේ දුෂ්කර අරගලය | දිනමිණ

මත්රකුසා මැඬීමේ දුෂ්කර අරගලය

සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ

ලොව බහුල වශයෙන් භාවිතා වන උත්තේජක වර්ගයන් දෙක වනුයේ, නිකොටින් (Nicotine) සහ කැෆේන් (Caffeine) ය. මේ අතරින් නිකොටින් දුම්කොළ නිෂ්පාදනයන්හි අන්තර්ගතය. කෝපි, තේ සහ සමහර බෝතල්ගත තරන ලද පාන වර්ගවල කැෆේන් අන්තර්ගත වේ. ඉතා ප්‍රබල උත්තේජක වර්ග වන ඒවා මගින් සරණතාවය ඇතිවීමට ඇති හැකියාව හේතුවෙන් විවිධ රාජ්‍යයන්හිදී ඒවා විධිමත් පාලනයට යටත් කොට ඇත. එහෙත් මෙකී උත්තේජක වර්ග වෛද්‍යමය අවශ්‍යතා සඳහා නිර්දේශ මත ලබාගත හැකිය. තවද, ඒවායේ ස්වභාව හේතුවෙන් නීති විරෝධීව රහසිගත ලෙස අති විශාල ප්‍රමාණයන්ගෙන් නිපදවීමද සිදුකෙරේ.

අතිවිශාල වශයෙන් මෙසේ නිපදවන මත්වීම සඳහා භාවිත කරන මෝෆීන්, කොකේන්, හෙරොයින් මෙන් NPS (New Psychoactive Substances) යනුවෙන් හැඳින්වෙන මනෝසක්‍රීය ද්‍රව්‍යයන්ද ලංකාවට පැමිණීමේ ප්‍රවණතාවය වර්තමානය වන විට වැඩි වී තිබේ. මෙරටින් හමු වූ විශාලතම හෙරොයින් තොගය වන කිලෝ 110 පසුගියදා‍ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මේසා විශාල මත්ද්‍රව්‍ය මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා ද නොඑසේ නම් වෙනත් රටකට ප්‍රවාහනය කිරීම සඳහා ද යන්න එකවර තීරණය කළ නොහැකිය. මෙපමණ මත්ද්‍රව්‍ය මෙරටේ සංසරණය වන්නේ කෙසේද? ඒවා වැළැක්වීමට යොදන ලද පිළියම්වල කිසියම් අඩුපාඩුවක් තිබේද යන්න පිළිබඳ සොයා බැලීම කාලෝචිතය.

සැඟවුම් ස්ථානයක් ලෙස භාවිත වීම

ශ්‍රී ලංකාව යනු ජාත්‍යන්තර ප්‍රවාහන මාර්ගවල එක්තරා කේන්ද්‍රීය ලක්ෂ්‍යයක පිහිටි ස්ථානයකි. එමෙන්ම ශ්‍රී ලංකාව ලෝක මත්ද්‍රව්‍ය සිතියමේ අපලේඛනයට (Black List) එතරම් හසුවුණු රටක් ලෙස සඳහන් වී නැත. එසේ හෙයින් යම් කෙනකු යමක් කරන විට එම පුද්ගලයන්ට මෙරට සැක නොහිතෙන පරිදි සැඟවී යමක් කළ හැකි ස්ථානයක් (Safe House) ලෙස භාවිත කළ හැකිය. ජාත්‍යන්තර වෙළෙඳාමේදී රටින් රටට භාණ්ඩ හුවමාරු වීමේදී රටක් හරහා යන භාණ්ඩ, විශේෂයෙන් බහාලුම්වල (Containers) ගෙන යන භාණ්ඩ, මෙන්ම ගුවන් මගින් සහ නැව් මගින් ගෙන යන භාණ්ඩ 100%ක් පරීක්ෂා කිරීමේ හැකියාව ලෝකයේ කිසිදු රටකට නැත. සාමාන්‍යයෙන් බහාලුම්වල (Containers) ගෙනෙන භාණ්ඩවලින් පරීක්ෂා කරනු ලබන්නේ 20% - 40% ත් අතර ප්‍රමාණයකි.

ඉතිරිය පරීක්ෂා කිරීමේ හැකියාවක් ලෝකයේ කිසිදු රටකට නැත. මේ සම්බන්ධව සොයා බැලීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සොයා ගත යුතුය. කළ හැකි වන්නේ අහඹු ලෙස තැනින් තැනින් තැන එකක් ගෙන පරීක්ෂා කිරීම (Random checkup)ය. එසේ පරීක්ෂා කිරීමේදී භාණ්ඩ පැමිණි රට අනුව එනම් පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ අප්‍රිකානු රටකින් පැමිණ ඇත් නම් එම භාණ්ඩ සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ පවතී. පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයන් තද කොට ඇත්තේ එම රටවල් අධි අවදානම් සහිත රටවල් (High Risk Countries) ලෙස ප්‍රසිද්ධ වී ඇති බැවිනි.

ශ්‍රී ලංකාව තවමත් අඩු අවදානම් සහිත රටක් (Low Risk Country) බැවින් ජාවාරම්කරුවන් මේ රට කේන්ද්‍රස්ථානයක් (Hub) ලෙස පාවිච්චි කරයි. නමුත් මේ අයුරින් දිගටම පැවතියහොත් ලංකාවද අධි අවදානම් සහිත රටක් බවට පත්වීමට ඉඩ තිබේ. මෙරටද මත්ද්‍රව්‍ය රහස්‍ය ලෙස ප්‍රවාහනය කරන, රහස්‍ය ලෙස සන්තකයේ තබා ගෙන ජාවාරම් කරන මට්ටමට පැමිණ ඇත. මෙලෙස ගෙනෙනු ලබන සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණයම මේ රට තුළ පරිභෝජනයට ගන්නවා යැයි කීමට අප ඉක්මන් නොවිය යුතුය. එවැනි මතයක් සමාජගත කිරීමට තවමත් වේලාසන වැඩිය.

පසුගියදා මෙරටින් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම හෙරොයින් තොගය වන හෙරොයින් කිලෝග්රෑම් 110 සම්බන්ධවද මෙරට සුරාබදු අංශ දැඩිලෙස කම්පනයට පත් වී සිටිති. එය මෙරටදී මෙතෙක් අත්අඩංගුවට ගැනුණු විශාලතම මත්ද්‍රව්‍ය තොගය බැවින් මෙපමණ මත්ද්‍රව්‍ය තොගයක් මෙරට තුළ පරිභෝජනය කිරීමට රැගෙන ආවාද නැතහොත් බෙදා හැරීමට ගෙන ආවා දැයි තවමත් ඇත්තේ සැකයකි.

එම මත්ද්‍රව්‍ය බෙදාහැරීමට නම් අපට ආසන්නතම රටවල් වනුයේ මාලදිවයින සහ ඉන්දියාවයි. නමුත් මාලදිවයිනෙහි නීති දැඩිය. සංචාරක කර්මාන්තයට බරපතළ ඇත්තේ ද ප්‍රමුඛස්ථානයකි. යම්කිසි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එරට තුළ තිබේ නම් ඒ සංචාරක කර්මාන්තයට අවැසි පරිදි විය යුතුය. එරට සංචාරක කර්මාන්තය බිඳ වැටීම කෙරෙහි පාලකයන් බියක් දක්වති.

ඉන්දියාවට අපෙන් මත්ද්‍රව්‍ය අවශ්‍ය නැත. ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරේ. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන ස්වර්ණ ත්‍රිකෝණය, ස්වර්ණ චන්ද්‍රවංකයෙහි ආවරණය වන ප්‍රදේශ ඉන්දියාවේද පිහිටා තිබේ. ඉන්දියාවේ අබිං නිෂ්පාදනය අධීක්ෂණය කරනු ලබන්නේ එහි සුරාබදු දෙපාර්තමේන්තුවෙනි. එම රටේ නීත්‍යානුකූලව අබිං නිපදවා ලෝක වෙළෙඳ පොළට යවනු ලබයි.

හෙරොයින් ලංකාවේද නිෂ්පාදනය කළ හැකිය. ඕපියම් (අබිං) වැඩිදියුණු කොට මෝෆීන් බවට පත්කර ගත හැකිය. ඕපියම්වල උත්තේජක සපයන රසායනික ද්‍රව්‍යයක් තිබේ. මේ ද්‍රව්‍ය විශාල පරාසයක් තුළ විහිදී ඇත. එමෙන්ම වෙනත් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වී තනුක බවට පත්වේ. අද ද මෝෆීන් නිර්වින්දනයක් ලෙස භාවිතයට ගැනේ. මෝෆීන් තවදුරටත් පිරිසුදු කළ විට හෙරොයින් සාදා ගත හැකිය. නමුත් හෙරොයින්වල නීත්‍යානුකූල භාවයක් නොමැත. ලෝකයේ ඕනෑම තැනක අමුද්‍රව්‍ය තිබේ නම් තාක්ෂණය ඉතා සරලය.

මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කිරීමේ දී අදටත් ලෝකයේ නෙත එතරම් බැරෑරුම් ලෙස ලංකාවට යොමු වී නැති බැවින් නීති ඇසෙන් පලා යාමේ හැකියාව ජාවාරම්කරුවන්ට තිබේ.

බදු පැනවීම සහ දැනුම ලබා දීම

මත්පැන් දුම්කොළ පරිභෝජනයේ ආදීනව පැහැදිලි කිරීම සඳහා මෙරට වැඩමුළු පවත්වනු ලබයි. එමෙන්ම බදු පැනවීමද සිදු කෙරේ. දිනෙන් දින වැඩිවන පරිදි මෙම නිෂ්පාදනයන් බදු පැනවේ. මේ අනුව භාණ්ඩයේ මිල ඉහළ යයි. කෙනකුට අවශ්‍ය දෙය මිලදී ගැනීමට නොහැකි වූ විට වෙනත් සන්නාමයකට (brand position) ‍යොමු වේ. රා මිල වැඩි වූ විට බීර මිල වැඩි වී නොමැති නම් රා බීමට ඇබ්බැහි වී සිටින අය බීර වලට මාරු වන්නා සේය. අරක්කු සහ විදෙස් මත්පැන් මිල අතර වෙනස අනුව අරක්කු අතහැර විදෙස් මත්පැන් වලට යොමුවීම හෝ එහි පරස්පරය තීරණය වනු ඇත.

සාම්ප්‍රදායික මත්ද්‍රව්‍යවල ඉල්ලුම එසේම පවතිද්දී භාණ්ඩවල මිල මට්ටම ඉහළ යනවිට මිනිස්සු වෙනත් ආදේශකවලට යොමුවෙති. නියමිත බදු නොගෙවා ආනයනය කරන නිෂ්පාදන (Immitation Product), නීතිවිරෝධී ලෙස සාදන ලද නිෂ්පාදන ආදියට මාරුවෙති. එම නිෂ්පාදන ද ගණන් වැඩි වූ විට සඟවා තබා ගැනීමේ පහසුව, ප්‍රවාහනය කිරීමේ පහසුව සහ ළඟ තබා ගැනීමේ පහසුව, මිල මට්ටම අඩු බව යන සමානාකාරයේ ප්‍රතිඵල ලබා දීම යන දේ නිසා විකල්ප නිෂ්පාදනයන්හි පහළම දේ තෝරා ගැනීමට මිනිසුන් පෙළඹේ.

වර්තමානයේ නවතම ව්‍යාප්තිය NPS නිෂ්පාදනයයි. (tablets). NPS යනු සරල වශයෙන් ගත් කල නව්‍ය මනෝසක්‍රීය ද්‍රව්‍ය (New Psychoactive Substances) හෙවත් විශාල පරාසයක පැතිරී ගිය පාලනය නොකරන ලද (නව්‍ය) මනෝසක්‍රීය ද්‍රව්‍ය නොහොත් නිෂ්පාදන සඳහා පොදුවේ යොදාගනු ලබන නාමකරණයයි. මෙම NPS ජාත්‍යන්තර රසාඥ නීති මගින් ආවරණය නොවන අතර ඒවා භාවිතය මගින් අනුරූපී පාලිත රසාඥ භාවිතයෙන් ඇතිවන ප්‍රතිඵලයට සමාන ප්‍රතිඵලයක් බොහෝවිට ඇති වේ.

විවිධ මුහුණුවරින් එන මත්ද්‍රව්‍ය

එක්සත් ජාතීන්ගේ රසාඥ හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) (United National Office on Drugs and Crimes) ආයතනය මගින් NPS සඳහා දී ඇති නිර්වචනය වන්නේ “1961 මාදක ඖෂධ පිළබඳ කේවල සම්මුතිය මගින් හෝ 1971 මනෝසක්‍රීය ද්‍රව්‍ය පිළිබඳ සම්මුතිය මගින් හෝ සීමා කරනු නොලැබූ එහෙත් මහජන සෞඛ්‍යය කෙරෙහි තර්ජනයක් එල්ල කිරීමේ හැකියාවෙන් යුක්ත වූ සංශුද්ධ නැතහොත් සම්මිශ්‍රණ ස්වභාවයෙන් යුක්ත වූ දුර්භාවිත ද්‍රව්‍යයන් යන්නයි.

නව්‍ය මනෝසක්‍රීය ද්‍රව්‍යයන් වෙළෙඳපොළෙහි විවිධ නාමකරණයන්ගෙන් යුතුව දැකිය හැකිය. එනම්, ව්‍යුහය වෙනස් කරන ලද මත්ද්‍රව්‍ය (Designed drugs) , නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය (Legal Highs), ශාකමය මත්ද්‍රව්‍ය (Herbal Highs), නාන ලුණු (Bath Salt) හා පර්යේෂණාත්මක රසායනික (Research Chemicals) යනුවෙනි එමෙන්ම ඕස්ට්‍රේලියාවේ මද්‍යසාර හා රසාඥ පදනමේ (Alcohol and Drug Foundation) වෙබ් අඩවියේ NPS හැඳින්වීම සඳහා නාමයන් කිහිපයක් යොදා ගැනේ. ඒවා කිහිපයක් මෙසේය, සාද පෙති හා ගුලි (Party Pills and Pallets), කෘත්‍රිම රසාඥ (Synthetic Drugs), රසාඥ ප්‍රතිසමයන් (Drug Analogues), ශාකමය සුවඳ කුඩු (Herbal Incense) එන්බෝම්ස් (NBOMes).

පසුගිය දශකය පුරා NPS අන්තර්ජාලයද ඇතු‍ළුව විවිධ බෙදාහැරීමේ මාර්ග ඔස්සේ රසාඥ වෙළෙඳපළට හඳුන්වාදීම සිදුකර ඇති අතර සමහර රටවල නීතිවිරෝධී රසාඥ වෙළෙඳ පොළෙන් සැලකිය යුතු කොටසක් ඉතා වේගයෙන් ආකර්ශනය කිරීමට ඒ තුළින් ඒවාට හැකිවී තිබේ.

මෙම NPS නොහොත් මත්පෙති වර්ග සම්බන්ධව ද සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද කම්පනයට පත්වී සිටිති. සුරාබදු නිලධාරීන්ගේ කාර්යභාරය, නීති ක්‍රියාත්මක කරන්නන්ගේ, මාධ්‍යවේදීන්ගේ සහ සමාජයේ සිටින සශ්‍රීක කණ්ඩායම්වල කාර්ය භාරය වන්නේ මේ මත්පෙති වර්ග මෙරටට පැමිණෙන ආකාරය සොයා බැලීමයි.

සාම්ප්‍රදායික මත්ද්‍රව්‍ය මර්දනයට සාම්ප්‍රදායික ආකාරයෙන් පිළියම් යෙදීම හේතුවෙන් සාම්ප්‍රදායික නොවන මත්ද්‍රව්‍ය ආකර්ශනීය ලෙස අනෙක්වාට ආදේශක වශයෙන් බලපෑම් ඇතිකරන්නට පටන් ගනී. දිනෙන් දින එවැනි නවතම නිෂ්පාදන වෙළෙඳ පොළට පැමිණීම නිසා සුරාබදු නිලධාරීන් ද අපහසුතාවට පත්වේ.

අද අප රටේ ගැහැනු දරුවන් රාත්‍රී සාදවලට ගොස් එළිවන තුරු නටන්නේ මෙම පෙති එකක් හෝ දෙකක් භාවිත කරමිනි. ඇති තරම් නටන මොවුහු කොහේ හෝ වැටී නිදා ගනිති. විවෘතව ඕනෑම දෙයක් කරති. මෙය රට පුරා පවතින ප්‍රශ්නයකි. මරණීය දණ්ඩනය ක්ෂණිකව දෙන රටක වුවද මෙය නැත්තටම නැති කළ නොහැකිය. කළ හැක්කේ හැකි තාක් දුරට පාලනය කිරීමය. අප රටේ ඕනෑම දෙයක් ක්‍රියාත්මක කිරීමට නම් භාගයක් හොඳින් ද අනෙක් භාගය නරකින් දිය යුතු බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. ඔහුගේ මතය වන්නේ බලෙන් දෙන දෙය සමාජය පිළිගන්නා බවයි.

මත් වෙළෙඳුන්ගේ උපාය දැනුම

නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් හැසිරෙන ආකාරය ද සංවිධානාත්මක අපරාධ ලෝකයේ සමීප නිරීක්ෂණයට ලක්වේ. මත්ද්‍රව්‍ය යනු ජාත්‍යන්තර මල්ටි බිලියන නිෂ්පාදනයක් වන බැවින් ජාවාරම්කරුවෝ ඊට විශාල ලෙස ආයෝජනය කරති. අති දක්ෂ සංකීර්ණ ක්‍රමවේද ජාවාරම සඳහා යොදා ගැනෙන අතර නිලධාරීන්ගේ දුර්වලතා අතරින්ද රිංඟමින් ව්‍යාපාරය නොකඩවා කරගෙන යති. සුරාබදු නිලධාරීන් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ සෝදිසියෙන් සිට තම ක්‍රමවේද වෙනස් කරති. නැවතත් නිලධාරීන් ඊට මුහුණ දීමට සූදානම් වනවිට යළිත් වෙනස් ක්‍රම අනුගමනය කරති.

වර්තමානයේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා විවිධ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වේ. පොලිසිය, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුවට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය (STF), පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ (Narcotic) අංශය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මේ සඳහා විශාල කැපකිරිමකින් යුතුව ක්‍රියා කරති. කංසා සංහාර වලදීද නවතම ක්‍රමවේද යොදා ගන්නා බව පැවසේ. හමුදාවන්ට ද යම් බලතල පැවරීම සඳහා රජයෙන් යෝජනාවක් පැමිණ තිබේ. කුමන ලෙසකින් හෝ මෙය අවසන් විය යුතුය.

පාසල්, පන්සල් සහ පල්ලි හරහා දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් විශාල වශයෙන් දැනටමත් රටතුළ ක්‍රියාත්මක වේ. ජනාධිපති මත්ද්‍රව්‍ය බළකායක් ද ස්ථාපිත කර ඇති අතර එමඟින් අති විශාල මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

අපගේ තරුණ පරපුර දිනෙන් දින විනාශයට පත්වීම වළක්වා ගැනීම වැඩිහිටි සැමගේම වගකීමකි. පාසල නිමවී නිවෙසට පැමිණෙන දරුවන් පිළබඳව මවුපියන් සෝදිසියෙන් සිටිය යුතුය. ටියුෂන් පන්ති කරා යන දරුවන් ගැනද ඔවුන් ආශ්‍රය කරන යහළු යෙහෙළියන් ගැනද සෙවිල්ලෙන් පසුවිය යුතුය. මත් රකුසා කිනම් හෝ වේලාවක පැමිණ ඔබගේ අහිංසක දරුවා ගොදුරක් කරගනු ඇත.

සටහන
චතුමී පිටිපන
ඡායාරූප-රොෂාන් පිටිපන

 

නව අදහස දක්වන්න