සමූහ මිනීවළ පරීක්ෂණය පාරදෘශ්‍ය කළා | දිනමිණ

සමූහ මිනීවළ පරීක්ෂණය පාරදෘශ්‍ය කළා

කැණීම් කටයුතු හා සම්බන්ධ ප්‍රධාන විමර්ශක නිලධාරී, මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පිහිටි භූමිය තුළින් මිනිස් අස්ථි කොටස් හමුවීමේ සිද්ධිය සම්බන්ධව සමාජයේ විවිධ කටකතා පැතිර යමින් තිබේ.මෙම ස්ථානයේ පැරණි සොහොන් භූමියක් පිහිටියේද නැතහොත් ඝාතනය කරන ලද පිරිසක් මෙහි වළදමා තිබේද යන කාරණා සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට එළඹිය හැක්කේ ඒ පිළිබඳව කෙරෙන්නා වූ පරීක්ෂණ අවසන් වූ පසුය. අදාළ ස්ථානයෙන් ලබාගත් මිනිස් අස්ථි කොටස් කුමන කාලයකට අයත් වන්නේද යන්න සොයා ගැනීම පිණිස ඒවාහි සාම්පල ඇමරිකාවේ ෆ්ලොරිඩාහි ලොව පිළිගත් විද්‍යාගාරයක් වෙත යවනු ලැබුවේ පසුගිය මස 25 වනදාය. අදාළ කාබන් නිර්ණ වාර්තාව මේ වන විට මෙරටට ලැබී තිබෙන අතර එහි අන්තර්ගත තොරතුරු සමඟින් මෙම සමූහ මිනීවළ සම්බන්ධ බොහෝ තොරතුරු හෙළිදරව් වනු ඇත.

මිනිස් අස්ථිවලට අදාළ කාබන් නිර්ණ වාර්තාව මෙම මස 20 දින මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සමූහ මිනීවළ සම්බන්ධ අතීත, වර්තමාන හා අනාගත තත්ත්වය සම්බන්ධව කැණීම් කටයුතු හා සම්බන්ධ ප්‍රධාන විමර්ශක නිලධාරී,මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

මෙම සමූහ මිනීවල කැණීමේ කටයුතු ආරම්භ වූයේ ප්‍රදේශවාසියකු පොලීසියට කළ පැමිණිල්ලක් සමඟ නේද?

ඔව්. මෙම සමූහ මිනීවල පිහිටි භූමියේ පිහිටා තිබුණේ පැරණි සතොස ගොඩනැඟිල්ල. තනි තට්ටුවේ ගොඩනැඟිල්ලක් ලෙස තිබූ එය මහල් තුනක ගොඩනැඟිල්ලක් ලෙස යළි ගොඩ නඟන්න ඔවුන්ට අවශ්‍යව තිබුණා. ඒ අනුව තිබූ ගොඩනැගිල්ල කඩා නව ගොඩනැඟිල්ල සඳහා අත්තිවාරම් කැපීමට භූමිය සකස් කරණු පිණිස බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පස් ඉවත් කර තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු මාසයේ කළ මෙම කැණීම්වලින් ඉවත් කළ පස්වලින් කොටසක් සතොස ආයතනයට අයත් භූමියක තැන්පත් කර තවත් කොටසක් පෞද්ගලික ආයතන වෙත නිකුත් කර තිබෙනවා. මේ පෞද්ගලික ආයතනවලට නිකුත් කළ පස් තොගයක් එමිර්නගර් ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් තුනී කරමින් තිබියදී එහි තිබූ මිනිස් අස්ථි කොටසක් පිළිබඳව නිවැසියා මාර්තු මස 25 දින මන්නාරම පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ වුණා.

මේ සම්බන්ධව පොලීසිය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය නියෝගය මත මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස මම මෙම පරීක්ෂණ වලට සම්බන්ධ වුණා.ඒ අනුව මාර්තු මස අග දිනයක මා එමිරිනගර් ප්‍රදේශයේ දමා තිබූ පස් පරීක්ෂාවට ලක්කළා.එම ස්ථානීය පරීක්ෂාවේදී පස් ගොඩේ තිබූ අස්ථි කොටස් මිනිස් අස්ථි කොටස් බව පැහැදිලිව හඳුනා ගත්තා.අදාළ ස්ථානයේ පස් කියුබ් 3 1/2ක් පමණ තිබුණා.ඉදිරි පරීක්ෂණ සඳහා සාක්ෂි ලෙස හා දත්ත ලෙස අවශ්‍ය සියලු දේ අපි ආරක්ෂිතව එකතු කර ගබඩා කළා.

මේ ආකාරයට මිනිස් අස්ථි කොටස් හමුවුව හොත් ඊළඟට සිදුවන්නේ කුමක්ද?

යම්කිසි ස්ථානයක මිනිස් අස්ථි කොටස් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතුයි. එය සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ අපරාධ පරීක්ෂණයක් විදිහටයි. එමිරිනගර් නිවෙස පිහිටි භූමියෙන් ලබාගත් අස්ථි කොටස් සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අදාළ පස් ලබාගත් සතොස භූමිය පරීක්ෂාවට ලක් කළ යුතු බව දැනුම් දුන්නා. ඒ අනුව මහේස්ත්‍රාත්තුමාත්, පොලීසියත් සමඟ මා එම ස්ථානය පරීක්ෂාවට ලක් කළා.තවත් එහි අස්ථි කොටස් තිබෙන බව එහිදී නිගමනය කළ අතර බැකෝ යන්ත්‍රය යොදා හැරීම නිසා විශාල භූමි ප්‍රදේශයකට ඒ වන විටත් හානි සිදුව තිබෙන බව පැහැදිලිව දක්නට ලැබුණා. හානි නොවූ කොටස සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය බව මහේස්ත්‍රාත්තුමාට දැනුම් දීමෙන් අනතුරුව එතුමාගේ අවසරය මත මෙහි කැණීම් ආරම්භ කළා.

මේ සඳහා කණ්ඩායම් කිහිපයක් සම්බන්ධව සිටිනවා නේද?

තනි පුද්ගලයකුට මේක කරන්න බැහැ.ඇත්තටම මන්නාරම කියන්නේ යුද්ධයත් එක්ක බැඳී තිබුණු නගරයක්. මේ නිසා මේ සමූහ මිනී වළ පිළිබඳව නොයෙකුත් කතා මතුවීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසා පරීක්ෂණ ඉතා නිවැරදිව, විද්‍යානුකූලව, විනිවිද භාවයකින් සිදු කිරීම අනිවාර්යයි. කිිසියම් හෝ සුළු සිදුවීමකින් ගල් කැටයක් හෝ වෙනස් වුවහොත් එය යළි පැවැති තත්ත්වයට ගන්න බැහැ. මේ නිසා අවශ්‍ය සියලුම කණ්ඩායම් නිවැරදිව හඳුනා ගෙන මෙම කාර්ය ආරම්භ කිරීම ඉතාම වැදගත් වුණා.

මේ සඳහා සම්බන්ධ වූ කණ්ඩායම් මොනවද?

මහේස්ත්‍රාත් සමඟ සාකච්ඡා කරලා මේ සඳහා අධිකරණ විශේෂඥවරු කණ්ඩායමක් පත් කළා.කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ, පොලීසියේ, අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන්ගේ (SOCO) මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ,විදුලි බල මණ්ඩලයේ,ජල සම්පාදන මණ්ඩලයේ,නගර සභාවේ සහය මේ සඳහා ලබා ගත්තා.මේ අය මේකට සම්බන්ධ කර ගත්තේ මහේස්ත්‍රාත් නියෝගයක් අනුවයි.

කැණීම් ආරම්භ කළේ කොයි කාලයේද?

2018 මැයි 28 කැණීම් කටයුතු ආරම්භ කළා. මුලින් කළේ මෙහි සීමාවන් නිවැරදිව හඳුනා ගැනීම. භූමියේ හරස් කඩ හා දික් කඩ හඳුනා ගනිමින් මායිම් නිවැරදිව සලකුණු කර ගත්තා. මායිමේ මිනිස් අස්ථි කොටස් තිබෙන බව සොයා ගත්තා. බැකෝ යන්ත්‍රය යෙදීමෙන් එම ප්‍රදේශයට කිසිදු හානියක් සිදුව තිබුණේ නැහැ. ඒ අනුව එම ස්ථානයේ කැණීම් ආරම්භ කරන්න අපි සැලසුම් කළා. අද වනවිට (13) මෙහි කැණීම් කටයුතු දින 144ක් සිදුකර තිබෙනවා. කැණීම් ආරම්භ කළ දිනයේ සිට වැඩ කරන දිනවල තමයි කැණීම් සිදු කළේ.සති අන්තයේ හා රජයේ නිවාඩු දිනවල කැණීම් කරන්නේ නැහැ.

මේ වනවිට පුද්ගලයින් කොපමණ පිරිසකගේ අස්ථි කොටස් හඳුනාගෙන තිබෙනවාද?

මේ වනවිට මීටර 13ක් දිග හා මීටර 11ක් පළල භූමි ප්‍රදේශයක කැණීම් සිදු කර තිබෙනවා. මේ තුළ තිබී පුද්ගලයින් 321 දෙනකුට අයිති යැයි සැලකෙන අස්ථි කොටස් අප හඳුනා ගත්තා. මේ අතර සම්පූර්ණ මෙන්ම අසම්පූර්ණ ඇට සැකිලි පවතිනවා.

මියගොස් සිටින පුද්ගලයින්ගේ වයස් සීමාවන් සම්බන්ධව අදහසක් පළ කළ හැකිද?

අස්ථි විශ්ලේෂණය මගින් වයස, ස්ත්‍රී පුරුෂ භාවය හා රෝගාබාධවලට ගොදුරුව මිය ගියේද යන කාරණා කිව හැකියි. ඒ සම්බන්ධව පැහැදිලිව කිව හැක්කේ අස්ථි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි. දැනට අපි කරන්නේ කැණීම් කටයුතුයි. මේ වනවිට සොයා ගෙන තිබෙන ඇටසැකිලි අතර ළමුන් 28 දෙනකු සිටින බව තහවුරු වී තිබෙනවා. සෙසු කාරණා සම්බන්ධව ස්ථිර යමක් කිව හැක්කේ විශ්ලේෂණයෙන් පසුවයි.

මෙම අස්ථි කොටස් ඇමරිකාවේ විද්‍යාගාරයක් වෙත යැවීමට පියවර ගත්තේ ඇයි ?

අස්ථි කොටස් මගින් ඒවාහි කාලය නිර්ණය කිරීමේ පහසුකම් අපේ රටේ නැහැ. ඇමරිකාවේ ෆොරිඩාහි පිහිටි විද්‍යාගාරය මේ සම්බන්ධ පරීක්ෂණ සඳහා ලොව පිළිගත් ආයතනයක්. මුලින් පැවසූ ආකාරයට මේ සමූහ මිනිවළ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබෙනවා. ඒ සමඟ මේ ගැන විවිධ කණ්ඩායම්වල විශේෂ අවදානයක්ද යොමුව තිබෙනවා. මේක ලංකාවේ පළමු සමූහ මිනී වළ නොවෙයි.

මේ පරීක්ෂණ කිසිවකුටත් සැකයක් ඇති නොවන ලෙස පාරදෘෂ්‍යභාවය උපරිමයෙන් රැකෙන පරිදි සිදු කිරීමට අපි නිතර වග බලා ගත්තා. මෙතනින් ලබා ගත්ත සාම්පලයමද අදාළ ලැබ් එකට ගියේ කියන කාරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමේ ඉඩක් තිබෙනවා. විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා සාම්පල් ලබා ගැනීම හා ඒවා සීල් කළේ මහේස්ත්‍රාත්වරයා ඇතුළු සියලු නිලධාරීන් ඉදිරිපිට මා විසින්මයි.

ඒවා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ බණ්ඩාරනයක ජත්‍යන්තර ගුවන් තොටුපොළට රැගෙන පැමිණීමෙන් පසු අදාළ විද්‍යාගාරය වෙත රැගෙන ගොස් බාර දුන්නේත් මමයි. මේ ගමන සඳහා මන්නාරම් ප්‍රදේශයේ අතුරුදන් වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු දෙදෙනකු හා තවත් නියෝජිතයකු එකතු වුණා. ඔවුන් මෙයට සම්බන්ධ වුණේ නිරීක්ෂකයින් ලෙස පමණයි. අස්ථි සම්බන්ධ කාබන් නිර්ණ වාර්තාව ලබා ගැනීම සඳහා ලෝකයේ ඒ සඳහා ඇති ප්‍රමුඛතම ආයතනයක් තෝරා ගත්තේ වාර්තාව සම්බන්ධව කිසිදු සැකයක් ඇති නොවීම සඳහායි.

මේ සඳහා කොපමණ මුදලක් වැය වෙනවාද ?

අස්ථි කොටස් සාම්පලවල කාල නිර්ණය කාබන් වාර්තා ගැනීම සඳහා වන සියලු වියදම් අතුරුදන් වූවන්ගේ කාර්යාලය මගින් දරනවා.

වාර්තාව ලැබුණු පසු ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන් කළොත්?

ඒ ගැන පැහැදිලි යමක් කිව හැක්කේ වාර්තාව ලැබුණු පසුවයි. එය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පියවර ගැනීමට පුළුවන්.

මෙහි කැණීම් නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, ප්‍රධාන මාර්ගය දෙසට එය සිදු කෙරන බවයි. යම් හෙයකින් තවදුරටත් කැණීම් කිරීමට සිදු වුවහොත් ප්‍රධාන මාර්ගය හරහාත් කැණීම් සිදු කරනවාද ?

මෙහි කැණීම් සිදු කෙරෙන්නේ අපරාධ පරීක්ෂණයක ස්වරූපයෙන්. මේ නිසා පාරට යටින් ඉන් එහාට අස්ථි කොටස් තිබෙන බව නිරීක්ෂණය වන්නේ නම් අවශ්‍යතාව මත ප්‍රධාන මාර්ගයට හානි කරමින් කැණීම් සිදු කරන්න වෙනවා.

සටහන සහ ඡායාරූප
අසේල කුරුළුවංශ 


නව අදහස දක්වන්න