දුවේ පුතේ අපිත් හෙළමු බීජ බෝම්බේ | දිනමිණ

දුවේ පුතේ අපිත් හෙළමු බීජ බෝම්බේ

උතුරු ඇමෙරිකා මහාද්වීපයේ දකුණු කොණේ පිහිටා තිබෙන මෙක්සිකෝවේ පිහිටා තිබෙන American School in Guadalajaraහි 7 වැනි පංතියේ ඉගෙනුම ලබන දැරියක් ඇගේ ඉගෙනුම් ව්‍යාපෘතිය වෙනුවෙන් වරක් තෝරා ගෙන තිබූ කාර්යය වූයේ seed bombing ය.

ඒ අනුව ඇය ඇගේ යහළු යෙහෙළියන් 7 දෙනකු හා ඔවුන්ගේ පවුල්වල අයත් තම පවුලේ අයත් කැටුව තම පාසල පිහිටා තිබෙන ප්‍රදේශයේ බටහිර මායිමේ වන Primavera Forest වනාන්තරයේ චාරිකාවක් ආරම්භ කළේ ඇගේ කාර්යයට උවමනා කළ බෝම්බ ද රැගෙන යි--එහෙත් මෙකී බෝම්බ ඔබ දන්නා විනාශකාරී බෝම්බ නොව වෙනත් බෝම්බ වර්ගයකි. කවුරුත් දන්නා චොකලට් බෝල තරම් ප්‍රමාණයේ වූ ඒවා මේ වන විට ලෝකය පුරා බොහෝ තැන්වල දී දැකිය හැකි seed bomb වර්ගයේ බෝම්බ ය.

එම චාරිකාවේ පරමාර්ථය වූයේ Primavera Forest යන නමින් හැඳින්වෙන කන්දේ තැනක දැරියත් ඇගේ කණ්ඩායමත් milkweed යන නමින් දන්නා පැළෑටියේ බීජ බෝම්බ හෙළීමයි.

මෙකී බෝම්බ හෙළීම ලෝකයේ වෙනත් බොහෝ තැන්වල දීත් කැරෙන කාර්යයකි: ....2018 අවුරුද්දේ ඔක්තෝම්බර් 25 වැනි දා, අප්‍රිකානු මහාද්වීපයට අයත් කෙන්යාවේ පාසල් දරු දැරියෝ 300කට වැඩි පිරිසක් 450 000ක් තරම් වන acacia (ඇකේෂියා) බීජ බෝම්බ ප්‍රමාණයක් ඔවුන් ඉගෙනුම ලබන පාසල් අවට තෝරා ගනු ලැබූ තැන්වලට හෙළුහ. කෙන්යාවේ ම Mara රක්ෂිත වනාන්තරයට කෙන්යානු දේශීය බීජ 1 000 000කට වැඩි ප්‍රමාණයක් හෙළීමටත් තවත් වරක දී, බීජ බෝම්බ හෙළීමට කැමැත්තක් දැක්වූ වෙනත් කණ්ඩායමක් පියවර ගෙන තිබුණි.

ඒ අතර ඉකුත් ජනවාරියේ අග දිනක, ලංකාවේ නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ අරංතලාව ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර කලාපයකට ද ඇහැළ, ඉඟිනි, කොබෝනීල, කොහොඹ, දං, මදටිය, මාර, රතු මාර හා සියඹලා බීජ බෝම්බ හෙළා ඇත ඒ, රජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්යාලයීය ව්‍යාවහාරික විද්‍යා පීඨයේ ජීව විද්‍යා ඒකකයත් වෙනුවෙන් එහි ගිය කණ්ඩායමක් විසිනි.

ඒ හැම තැනක දී ම, බීජ බෝම්බ හෙළා තිබුණේ ඒ ඒ තැන්වලට අලුත් ගස් හා වැල් වදුලක් එක් කිරීමේ බලාපොරොත්තුවෙනි.

බීජ බෝම්බ හෙළීම මෙකල පමණක් කැරෙන කාර්යයක් නොව මීට දීර්ඝ කාලයකට පෙර ඊජිප්තුවේත් කරනු ලැබූ කාර්යයක බව බීජ බෝම්බ හෙළීමේ කාර්යය ගැන තතු දත් උගත්තු කියති.

එම උගතුන් බීජ බෝම්බ හෙළීම ගැන ඉදිරිපත් කරන තොරතුරුවලට අනුව, එය අඩු වැයකින් වැඩි ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වූ ද කාර්යක්ෂම වූ ද බීජ වැපිරීමේ උපායමාර්ගයකි. එය වඩාත් යෝග්‍ය වන්නේ වනාන්තරවල දී කැරෙන බීජ වැපිරීමේ වැඩකටයුතුවලට ය.

එහෙත්, ලෝකයේ බොහෝ රටවල ජනයා තම තමන් ගේ ඉඩම්වල කැලෑ වදුලු ඇති කර ගැනීමට ද එම උපායමාර්ගය උපයෝගී කර ගෙන ඇත.

බීජ බෝම්බ හෙළීමට තෝරා ගනු ලබන තැන්වලට මහා වර්ෂාව ලැබීමේ කාලයක් ළංවෙද්දී, කලින් පිළියෙළ කර ගත් බීජ බෝම්බ හෙළිය යුතු වන බවත් වර්ෂාව ලැබෙන විට බීජ බෝම්බවල අඩංගු ශාක බීජ ප්‍රරෝහණය වන බවත් ලෝකය පුරා තිබෙන වන සංරක්ෂණ ආයතනත් විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතන තහවුරු කර ගෙන ඇත.

බීජ බෝම්බ ආශ්‍රිතව කෙරෙන පර්යේෂණ හා වෙනත් වැඩකටයුතු, ඈත අතීතයේ ලෝකයේ බොහෝ තැන්වල වූ මානව ප්‍රජාවන්ගේ පාරම්පරික ඥානය හා බැඳී පවතී.

අඩු වෙමින් පවතින ලෝක වනගහණය වැඩි කිරීමේ බලාපොරොත්තුවෙන් කෙරෙන විවිධ කාර්යයන් අතරට බීජ බෝම්බ හෙළීමේ කාර්යයත් තෝරා ගනු ලැබ ඇත. කාලය-මහන්සිය-ධනය ඉතිරි කර ගැනීමේදී එය ඉතා ඵලදායී බව තහවුරු කර ගෙන ඇති හෙයිනි.

බීජ බෝම්බයක් තැනීම හා හෙළීම ඉතා පහසු කාර්යයකි--එය එතරම් පහසු හෙයින්, අට වැනි පංතියේ ඉගෙනුම ලබන දරුවකුට හෝ දැරියකට පවා එම කාර්යය කළ හැකි ය.

මුලින් බීජ බෝම්බ තනා ගැනීමේ කාර්යයට අවශ්‍ය වන්නේ තෝරා ගනු ලැබූ බීජ ප්‍රමාණයක්, යෝග්‍ය පස් වර්ගයක්, කොම්පෝස්ට් හා ජලයත් ඒවා මිශ්‍රකර ගැනීමට භාජනයක් හා එම මිශ්‍රණයෙන් තනා ගන්නා බීජ බෝම්බ වියළා ගැනීමට ගැලපෙන බන්දේසියක් වැනි දෙයක් පමණි.

එක අතකට පුරවා ගත හැකි රොඩු-බොඩුවලින් තොර පස් ප්‍රමාණයන් 3ක්, ඒ මිම්මෙන් ගත් කොම්පෝස්ට් ප්‍රමාණයන් 5ක් හා ඒ ආකාරයට ම ගත් බීජ ප්‍රමාණයක් හොඳින් මිශ්‍රකර ගෙන, ඊට ජලය ටික ටික එකතු කර ගත යුතු වන්නේ අන්තිමේ දී ලැබෙන පස්-කොම්පෝස්ට්-බීජ බෝලයෙන් කුඩා චොකලට් බෝල තරමේ (නොකැඩෙන) ගුළි තනා ගැනීමට හැකි වීමට ය.

ඒ අයුරින් තනා ගනු ලබන ගුළි ඒවා වියළා ගැනීමට ගත් භාජනයේ අතුරා පැය 3ක පමණ කාලයක් හිරු එළියෙන් වියළා ගැනීම ද බීජ බෝම්බ තනා ගැනීමේ ක්‍රියාවලියේ වැදගත් පියවරකි.

බීජ බෝම්බ හෙළනු ලබන්නේ පයින් හෝ වාහනයක යන අතරතුර විසිකිරීම හෝ කැටපෝලයකින් විදීම හෝ ගුවන් යානකින් බිමට හෙළීම හෝ මගිනි.

වපුරන බීජ කෘමි උවදුරකට ලක් නොවීමත් ප්‍රරෝහණය වූ බීජ මගින් ලැබෙන අංකුර වඩාත් හොඳින් වැඩීමත් එම බීජ බීජ බෝම්බයක අඩංගු කර තිබීමේ වැදගත් ප්‍රතිඵලයකි.

බීජ බෝම්බ තැනීම ගැන තොරතුරු තවදුරටත් ලබා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් විශ්වවිද්‍යාලයක කෘෂිකර්ම පීඨයත් කදිම තැන් වනු ඇත.

 

 

සටහන සහ ඡායාරූපය
නවරත්න බණ්ඩාර
මහවැලි කලාපීය සමූහ

 


නව අදහස දක්වන්න