ලෝක බැංකුවට කන් දෙන්න! | දිනමිණ

ලෝක බැංකුවට කන් දෙන්න!

ලෝක බැංකුවේ නිර්දේශ මෙන් ම, ලෝක බැංකුවේ ඇගැයීම් ද ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට හැම විටෙකම වැදගත් ය. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජගත් මූල්‍යායතන ලෝක ආර්ථිකය සාධනීය ලෙස හැසිරවීම සඳහා බලවත් පරිශ්‍රමයක යෙදී සිටිති. මීට දින දෙකකට ඉහතදී ලෝක බැංකුව ශ්‍රී ලංකාව අගයා ඇත්තේ, දිළිඳුකම පිටුදැකීම සඳහා ගෙන යන විශේෂ ව්‍යාපෘති ගැන සඳහන් කරමින් ය. මේ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව, ලෝක බැංකුවේ පැසසුමට ලක්වී සිටිති. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්වින් ශාර්පර් මහතා ඊට අදාළ ප්‍රකාශය සිදුකර තිබේ.

හාර්ට්වින් මහතා පෙන්වා දෙන ලෙස; ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ ක්‍රියාවට නැංවූ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් බොහොමයක් සාර්ථක ය. ඒ මගින් ගැමි ආර්ථිකයත්, ගැමි සමාජයත් සාධනීය වෙනසකට ලක් වී ඇත. උප සභාපතිවරයා අවධාරණය කරන තවත් වැදගත් කාරණයක් වන්නේ, රටේ ඒකපුද්ගල ආදායම ය. එය අමෙරිකන් ඩොලර් හාරදහසක තත්ත්වයේ පැවැතීම සතුටුදායක තත්ත්වයක් බව, ලෝක බැංකුව පෙන්වා දෙයි. ඒකපුද්ගල ආදායම යනු රටක සංවර්ධනය තක්සේරු කරන ප්‍රධාන සාධකයකි. ලෝක ආර්ථික අවපාතයක් හමුවේ ඩොලර් හාරදහසක ඒකපුද්ගල ආදායමක් පවත්වා ගැනීම විශේෂ ආර්ථික ජයග්‍රහණයකි.

ලෝකයේ ප්‍රධාන ආර්ථික අභියෝගය ගතහොත්; එය දිළිඳුකම පිටුදැකීම යැයි කීම ඉතා නිවැරැදි ය. කුසට අහරක්, හිසට සෙවණක්, ජීවත්වීමට ආදායමක් හා සනීපාරක්ෂක පහසුකම් නැති කෝටි ගණනක් ජනතාව, දිළිඳු රටවල වාසය කරති. ඔවුන්ගේ එදිනෙදා පැවැත්ම හා සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි. ලෝක ආහාර සංවිධානයේ ප්‍රධාන කාර්යභාරයක් වී ඇත්තේ, අනාථ වූ අයට හා සරණාගත පිරිස්වලට එදිනෙදා ආහාර හා ඖෂධ සැපයීම ය. ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයේ පවත්නා ප්‍රධාන අභියෝගය ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම ය. එදා-මෙදාතුර විවිධ ආණ්ඩු ඒ සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත.

මේ අතර වත්මන් ආණ්ඩුව දිළිඳුකම පිටුදැකීම සඳහා වූ විශේෂ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරයි. ග්‍රාම ශක්ති වැඩසටහන, ගම් පෙරැළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව ය. ඒ ඔස්සේ සිදුවන්නේ ගමේ පරිසරය ද ආරක්ෂා කරමින්, ගැමි ආර්ථිකය සංවර්ධනය කිරීම ය. ජාතික ආර්ථිකයේ වර්ධනය සඳහා, ගැමි ජනතාවගේ කුසලතා දායක කර ගැනීම, මේ වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයකි. ගම් පෙරැළිය ක්‍රියාත්මක වන්නේ, ගමට අවශ්‍ය පොදු පහසුකම් ගොඩනැගීම සඳහා ය. ගමේ හා නගරයේ ස්වයං රැකියාලාභියාට හා කුඩා ව්‍යාපාරිකයාට අත-හිත දීමට, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක ය.

මේ වැඩසටහන් එකිනෙකට සම්බන්ධ වන අතර, ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වෙයි. 1960 ගණන්වලදීත්, ලෝකයේ මූල්‍යායතන ශ්‍රී ලංකාව වැනි රටවලට ලබාදුන් උපදේශනය වූයේ, ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන් මගින් රටේ එකිනෙක දිස්ත්‍රික්ක වැඩිදියුණු කිරීම ඉතා වැදගත් බව ය. ඒ අනුව, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ගැමි නායකයන් පුහුණු කිරීමත්, සෑම ගමකම ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටුවීමත් සිදු කරන ලදී. මුලදී ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ වැඩසටහන, පසුව පසුබෑමට ලක් විය. එදා දේශපාලකයන් අතර පැවැති තේමා පාඨයක් වූයේ, ශ්‍රී ලංකාවේ ගම් තිස්දහසක් ඇති බව හා එම ගම් තිස්දහස සංවර්ධනය කිරීමෙන් රට දියුණු කළ හැකි බව ය.

‘ජනසවිය’, ‘සමෘද්ධි’, ‘නිවාස සංවර්ධනය’ අපේ දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක වූ හා තවම ක්‍රියාත්මක වන දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ය. මේ ව්‍යාපෘති නිර්මාණය වූයේ දිගුකාලීන ආර්ථික දැක්මක් සහිතව ය. චීනයේ කොම්පියුසියස් දර්ශනයේ සඳහන් වන අන්දමට ආහාර ස්වල්පයක් ඉල්ලා සිටින තැනැත්තාට බිලී පිත්තක් ලබාදිය යුතු ය. එවිට ඔහුගේ ජීවන මාර්ගය බවට එය පත්වනු ඇත. සිදුවිය යුත්තේ, ආධාර ලබාදීම වෙනුවට ඉපැයුම් මාර්ග වෙත දිළින්දා සමීප කරවීම ය. අපේ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ද ජනතාවගේ සහභාගිත්වය ඇතිව ය. ඔහු සම්පත් භුක්ති විඳින පුද්ගලයකු පමණක් නොව; ඒවා උපයන මිනිසකු බවට ද පත්කිරීම මේ වැඩසටහන්වලින් සිදු කෙරේ. ලෝක බැංකුව අපේ ව්‍යාපෘති අනුමත කරන්නේ ද ඒ නිසා ය.

දිළිඳුකම පිටුදැකීම සඳහා වූ තවත් අතිශය වැදගත් වැඩසටහනක් ආණ්ඩුව ක්‍රියාත්මක කරයි. එනම්; ග්‍රාමීය ණයගැතිභාවය වැළැක්වීම සඳහා රජය මැදිහත්වීම ය. දිස්ත්‍රික්ක ගණනාවක කාන්තාවන් ස්වකීය ප්‍රදේශවල ඇති ක්ෂුද්‍ර ණය ආයතනවලින් ලබාගත් ණය ගෙවාගත නොහැකිව, බලවත් අසීරුතාවට පත්වූ බව මුළු රටම දනී. ඇතැම් කාන්තාවෝ මේ නිසා තම දේපොළ අහිමි කර ගත්හ. සමහරු පවුල් ජීවිතය විනාශ කර ගත්හ. තව සමහරු දිවි නසාගත්හ. ණය උගුල ජීවිතයට තර්ජනයකි. අගමැතිවරයා මේ ණය උගුල හඳුන්වන්නේ, බෙල්ලට දමාගත් තොණ්ඩුවක් හැටියට ය. මේ ණය ගෙවා දමා, ණයගැතියාට අලුතින් ජීවිතය ආරම්භ කිරීම සඳහා රජය රුපියල් දසලක්ෂ එක්දහස් හාරසියයක් වෙන් කර තිබේ.

මෙලෙස සමස්ත ක්‍රියාවලිය දෙස බලනවිට පෙනීයන්නේ, ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීම සඳහා විශේෂ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වන බව ය. ඒ සෑම ව්‍යාපෘතියකටම දිගුකාලීන දැක්මක් තිබේ. නායකයන් දූරදර්ශී ලෙස ක්‍රියා කරන්නේ නම්; අපට ඇති සම්පත් දියුණුවීම සඳහා හොඳටම ප්‍රමාණවත් ය. කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව, හොංකොං, තායිවානය දියුණු රටවල් බවට පත් වූයේ, කෙටි කාලයක් තුළදී ය. ඒ රටවල දියුණු වේ රහස් දෙකක් ඇතැ’යි කියති. පළමුවන්න, බුද්ධිමත් හා අවංක නායකත්වයක් පහළවීම ය. දෙවන්න එම රටවල ජනතාව බලවත් පරිශ්‍රමයකින් යුතුව තම කාර්යයන්හි නිරත වීම ය. රටක් දියුණු කිරීමට නම්; මේ දෙකම අවශ්‍ය වේ. දැන් ඒ බව අපේ නායකයෝද වටහාගෙන සිටිති.ලෝක බැංකුවෙන් අපට ලැබුණු ඇගැයීම සුළුවෙන් තැකිය හැකි නො‍ වේ. එහි ගෞරවය රටේ නායකයන්ට පමණක් නොව; සමස්ත රටවැසියාට ම ලැබෙන බව කිව හැකි ය.

 


නව අදහස දක්වන්න