ජය දඳ නැංවූ ක්‍රීඩකයන්ට කෝටියක් | දිනමිණ

ජය දඳ නැංවූ ක්‍රීඩකයන්ට කෝටියක්

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනාදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට, ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අතින් මුදල් ත්‍යාගය පිරිනැමූ අයුරු හා වසර 9කට පසුව ආසියානු නෙට්බෝල් කුසලානය දිනාගත් ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනවියට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අතින් මුදල් ත්‍යාගය පිරිනැමූ අයුරු.

ප්‍රින්ස් ගුණසේකර

ජාත්‍යන්තර තරගවලදී ජයග්‍රහණ අත්කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට රුපියල් කෝටියක පමණ තෑගි මුදල් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් තිළිණ වෙයි. ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඊයේ මෙම මුදල් ප්‍රධානය සිදුකෙරුණු අතර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනාදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා, වසර 9කට පසුව ආසියානු නෙට්බෝල් කුසලානය දිනාගත් ක්‍රීඩිකාවන් හා පළමු වරට ලෝක කුසලාන කැරම් තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, අනු ශූරතාව දිනාගත් කාන්තා කණ්ඩායම මෙලෙස මුදල් තෑගි හිමිකර ගත්හ.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසූවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේදී අභියෝග රැසක් ඇති බැවින් ඒවාට මුහුණදී ජයග්‍රහණ ලබා ගැනීමට අදිටන් ඇති කරගත යුතු බවයි. එම ඉදිරි ගමන වෙනුවෙන් ජාතික ක්‍රීඩා සභාව ක්‍රමානුකූල සැලසුමක් සකසා ඇති අතර එය ක්‍රියාවට නංවා පදක්කම් දිනා ගැනීමේ වැඩ පිළිවෙළකට අවතීර්ණවිය යුතු බව පෙන්වා දුන්නේය. එහෙත් ක්‍රීඩා පරිපාලනයේ සිටින ඇතැම් නිලධාරීන් තම බලය රැක ගැනීමට උත්සහා කරද්දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපහසුතාවට ලක්වන බැවින්, එවැනි අවස්ථා වලක්වා ක්‍රීඩා සංවර්ධනයට අතදීම අමාත්‍යාංශයේ වගකීමක් බව ඇමැතිවරයා සඳහන් කළේය.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනෙන් දින දියුණුවට පත්වෙද්දී මුල අමතක කළ යුතු නෑ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ යුතුයි. කිසිවෙකු තනි වෙන්න එපා. තනි කරන්නත් එපා. ඇතැම් ගොසිප් මාධ්‍ය ප්‍රචාර නිසා ක්‍රීඩකයන් එක් රැයකින් විනාශ විය හැකියි. මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ වීඩියෝ පටයක් ගැන විශාල ප්‍රචාරයක් ගෙන යනවා. පුහුණුකරු වෙනුවෙන් ක්‍රිකට් ගැහුවා කියන්නේ රට වෙනුවෙන් නොවෙයි කියා ඇතැම් අය කියනවා. ක්‍රිකට් පුහුණුකරු ශ්‍රී ලංකාවේ කෙනෙක්. නමුත් ඇතැම් මාධ්‍ය මේ සම්බන්ධ විශාල ප්‍රචාරයක් දෙනවා. දකුණු අප්‍රිකාව පරදා අපේ ක්‍රීඩකයන් ලැබූ ජයග්‍රහණය හෑල්ලු කළ යුතු නෑ. කුසල්ගේ ඉනිම ලෝකයේ හොඳම ඉනිමක් බව හැමෝම අගය කරනවා “ ඇමැතිවරයා පැවැසීය.

ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හිදී පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට රුපියල් ලක්ෂ 15ක්, ඇයගේ පුහුණුකරු ජේ. එන්. ජයසිංහ මහතාට රුපියල් 375,000ක් පිරිනැමුණු අතර, ආසියානු නෙට්බෝල් කුසලානය දිනාගත් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12කට රුපියල් ලක්ෂ 3 බැගින් හා පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනවියට රුපියල් ලක්ෂ 5ක් පිරිනැමුණි. ලෝක කුසලාන කැරම් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක චමිල් කුරේ හා දිනේෂ් නිශාන්ත ක්‍රීඩකයන් දෙදෙනාට රුපියල් ලක්ෂ 6 බැගින්, මොහොමඩ් ෂහීඩ් හිල්මි හා උදේශ් චන්දිම පෙරේරා ක්‍රීඩකයන් දෙදෙනාට රුපියල් ලක්ෂ 3 බැගින් තිළිණ විය. ලෝක කුසලාන කැරම් අනු ශූරතාව දිනාගත් කාන්තා කණ්ඩායමේ නායිකා යසිකා රාහුබද්ධ හා ජෝශප් රොසිටා ක්‍රීඩිකාවන් දෙදෙනාට රුපියල් 262,000 බැගින්, චලනි ලක්මාලි ලියනගේ හා මධුකා දිල්ශානි රණවීර ක්‍රිඩිකාවන් දෙදෙනාට රුපියල් 112,500 බැගින් පිරිනැමුණි.

කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ කමලා වික්‍රමසිංහ (රු. 225,000) රන්ජන් ප්‍රනාන්දු (රු. 150,000), ලසන්ත චමින්ද රණතුංග (රු. 75,000), සුජාතා මදුරේගොඩ (රු. 39,375), ලසන්ත චමින්ද රණතුංග (රු. 39,375), ලැන්ග්ලි මතායස් (රු. 28,125), අමිල නිර්මාල් රත්නායක (රු. 28,125), නිශාන්ත ප්‍රනාන්දු (රු. 26,250) හා මොහොමඩ් හිල්මි (රු. 26,250) මහත්ම මහත්මීන්ට මුදල් තිළිණ ප්‍රදානය විය.


නව අදහස දක්වන්න