එක්දින තරගාවලියටත් මැතිව්ස් නෑ | දිනමිණ

එක්දින තරගාවලියටත් මැතිව්ස් නෑ

චමිල කරවිට

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතුව ඊයේ නම් කළ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් වී නොමැත. එක්දින තරගාවලියට ඔහුගේ සහභාගිත්වය අපේක්ෂා කෙරුණද, ආබාධය සම්බන්ධව සිදුකරගෙන යනු ලබන පුනරුත්ථාපන වැඩපිළිවෙළ තවමත් අවසන් වී නොතිබීම හේතුවෙන් එම තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ලබන මාර්තු මස 3 වැනිදා ජොහනස්බර්ග් නුවරදී ආරම්භ වන තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියට නම් කළ ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට දඟපන්දු යවන අකිල ධනංජය ඇතුළත් වීම කැපී පෙනේ. නීතිවිරෝධී පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් අයි.සී.සී.යේ තාවකාලික තරග තහනමකට ලක්වී සිටි අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් පරික්ෂා කිරීමේ දෙවැනි පරික්ෂණය පසුගියදා ඉන්දියාවේදී පැවැති අතර එහිදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරැදි බවට තහවුරුවනු ඇතැයි විශ්වාසය මත ඔහු කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

මැතිව්ස්ගේ ආබාධය සම්බන්ධව ‘දිනමිණ‘ට අදහස් දක්වා සිටි අධි කාර්ය සාධන මධ්‍යස්ථාන ප්‍රධානී අසංක ගුරුසිංහ මහතා පවසා සිටියේ, ඇන්ජලෝගේ ආබාධය පිළිබඳව සිදුකරගෙන යනු ලබන වැඩසටහන සම්බන්ධව භෞත චිකිත්සක අංශය විසින් තමා වෙත ලබාදී තිබෙන වාර්තාවට අනුව තරගයකට ක්‍රීඩා කිරීමට තරම් තත්ත්වයේ මැතිව්ස් නොමැති බවයි. එම වාර්තාවට අනුව මැතිව්ස්ගේ ආබාධය සම්බන්ධව සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙළ තවමත් 100% කින් අවසන් නොවීම හේතුවෙන් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඔහුව නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වා සිටි අධිකාර්ය සාධන ප්‍රධානී, “එයා තවමත් පුහුණුවීම් 100% ක් කරන්න පටන් අරන් නෑ. පිසියෝගෙ රිපෝට් එක අනුව අපිට එයාව රිලීස් කරන්න බෑ. එයාගේ ෆිට්නස් පැත්ත නම් හොඳයි. ඒත් තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා ඉවර කරන්න. මෙතනදි මම සිලෙක්ටර්ලට කිව්වේ මේ ටුවර් එකට ඇන්ජිව (ඇන්ජලෝ) දාලා වර්ල්ඩ් කප් එකට අවදානමක් ගන්නවද කියන එක“ යැයි පැවැසීය.

එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙම මස 23 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතව සිටියි. “මේ ඉන්ජරි එකෙන් පස්සේ එයා තවම මැච් ගහලත් නෑ. අපි කළිනුත් මෙයාව බාගේ හොඳ වෙලා තියෙද්දි කණ්ඩායමට අරගෙන ගහපු පළවැනි තරගයෙදිම එයා ආබාධයකට ලක් වුණා. ඒක නිසා මේ අවස්ථාවේ ඒ අවදානම ගන්න අපිට බෑ“ යැයි ගුරුසිංහ පවසයි.

භෞත චිකිත්සක වාර්තාවට අනුව, මැතිව්ස්ගේ පුහුණු වැඩසටහන යටතේ කෙටි දුර දිවීම් (ස්ප්‍රින්ට්) සැසි 4 ක්, අවම වශයෙන් දේශීය තරග 3 කට ක්‍රීඩා කිරීම මෙන්ම පරීක්ෂණ කීපයක්ම සිදුකිරීමට නියමිතව තිබේ.

දකුණු අප්‍රිකානු සංචාරයට නම් කළ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙසේය.

ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජෙලෝ පෙරේරා, ඕෂද ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, පියුමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්.

නව අදහස දක්වන්න