පිරිපහදුවේ අපජලය සපුගස්කන්ද පාර දිගේ | දිනමිණ

පිරිපහදුවේ අපජලය සපුගස්කන්ද පාර දිගේ

සුදත් පුබුදු කීර්ති දෙල්ගොඩ සමූහ

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පිටකරන තෙල් මිශ්‍රිත දුර්ගන්ධය හමන අපජලය හෙයියන්තුඩුව පන්සල් අගාර වෙල්යායට ගලාඒමෙන් එම ප්‍රදේශය තුළ විශාල පරිසර දූෂණයක් සිදුවෙමින් පවතී.

මෙම තෙල් සහිත කළු පැහැති ජලය දැනට මාස දෙකක පමණ කාලයක සිට අඛණ්ඩව වෙල්යායට ගලා එන අතර ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට ශ්වසන රෝග හා සමේ රෝග ඇතිවීමේ අවදානමක් හටගෙන ඇත.

එසේම මෙම දුර්ගන්ධය සහිත අපජලය ඇළ මාර්ගයට මුසුවීම නිසා එහි සිටි ජලජ ජීවීන් රැසක් වඳ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මේ පිළිබඳව අදහස් දැක්වූ හෙයියන්තුඩුව බටහිර පදිංචි හසිත දනංජය මහතා මෙසේ කීවේය.

මුලින්ම ටික ටික තමා මේ තෙල් පාර වතුර එක්ක ආවේ. දැන් මාසයක දෙකක ඉඳන් කළු තෙල් එක්ක එන මේ වතුර පාර වැඩි වුණා. ඒ එක්කම මේකෙන් දුර්ගන්ධයක් එන්න පටන් ගත්තා. රෑට සුළං පාරත් එක්ක අපේ ගෙවල්වලට මේ ගඳ එනවා.

නිවෙස්වල අපට ඉන්න බැහැ. දරුවන්ට ලෙඩ රෝග. ඇළවේලිවල හිටපු මාළු මැරිලා. තෙල් පිරිපහදුවෙන් එළියට දාල තියන බටවලින් තමා මේ දුගඳ හමන තෙල් එන්නේ. මේ තත්ත්වය අපේ ප්‍රදේශයේ විශාල පරිසර හානියක් නිර්මාණය කර තියෙනවා.

බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොළ මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීවේය.

මේ ස්ථානයට අපි ගිහින් පරීක්ෂා කළා. තෙල් පිරිපහදුවෙන් එළියට දමා ඇති බට දිගේ ඉතාම පැහැදිලිව දුගඳක් එක්ක මේ කළුපාට තෙල් එනවා. ප්‍රදේශයේ ජනතාවට, සතා සිව්පාවට හානියක් වන මෙවැනි පීඩාකාරී අපජලය ඔවුන්ට මෙසේ මුදාහරින්න බැහැ. මෙය විශාල පරිසර හානියක්.

මේ ආකාරයටම මීට පෙර පට්ටිවිල වෙල්යායට මේ අපජලය මුදාහැර තිබුණා. පට්ටිවිල ජල පවිත්‍රාගාරය අසලට මේ අපජලය බැහැරවීම නිසා විශාල හානියක් එදා ඇතිවුණා. යුද හමුදාවේ සහාය ලබාගෙන රජය විශාල වෙහෙසක් දරා මේ තත්ත්වය පාලනය කර ගත්තා.

නමුත් මේ වන විට නැවතත් වගකිවයුත්තන්ගේ ඇස් වහලා පන්සල් අගාර වෙල්යායට මේ තෙල් මිශ්‍ර අපජලය මුදාහැර තිබෙනවා.

 


නව අදහස දක්වන්න