මහවැව බස් අනතුරෙන් හතරක් මරු දකියි | දිනමිණ

මහවැව බස් අනතුරෙන් හතරක් මරු දකියි

මිහිර විජේසේකර - මාරවිල සමූහ, ප්‍රසාද් පූර්ණමාල් - පුත්තලම දිසා සමූහ, මුන්නේශ්වරම සමූහ - ඊ. සී. ප්‍රනාන්දු

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව මංසන්ධිය ආසන්නයේ දී ඊයේ (18) පෙරවරු 4.35ට පමණ සිදුවූ රිය අනතුරකින් සිවුදෙනකු (4) මියගොස් දහනවදෙනකු (19) තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

වව්නියාවේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ලොරියක ගැටී මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක් සහිත විදුලි කණුවක ගැටීමෙන් මේ අනතුර සිදුවී තිබේ.

ට්‍රාන්ස්ෆෝමරයේ බස් රථය ගැටෙනවාත් සමඟම විදුලිය විසන්ධි වීම හේතුවෙන් මහා විනාශයක් වැළකිණි. අනතුර සිදුව විනාඩි තිහක් ඇතුළත තුවාල ලබාසිටි 20දෙනකු රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන්ට හා මාරවිල පොලිසියේ නිලධාරීනට හැකිවිය. ඒ එක් තුවාලකරුවෙක් රෝහලේ දී මියගියේය. තිදෙනකු බස් රථයෙන් ඉවතට ගැනීමට පැය තුනකට ආසන්න කාලයක් ගතවිණි. ඔවුන් තිදෙනා ඒ වනවිටත් මිය ගොස් සිටියහ. ඔවුන් පිටතට ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූයේ ට්‍රාන්ස්ෆෝමරය හා විදුලි කණුවක් බස් රථය මත වැටී තිබීම හේතුවෙනි.

මෙම බස් රථය අධික වේගයෙන් ධාවනය වූ බව අනතුර ඇසින් දුටුවන් කීපදෙනකුම පැවසීය. බස් රථය ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේ දී මේ අනතුර සිදුව ඇත. ඒ අවස්ථාවේ බස් රථයේ වේගය පැයට කිලෝමීටර් සියයකට ආසන්නව තිබූ හෙයින් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වූ බවද අනතුර ඇසින් දුටු වික්‍රම දිසානායක මහතා පැවසීය. බස් රථයේ වේගය දැක තමන් ධාවනය කරමින් සිටි ලොරි රථය මාර්ගයෙන් ඉවත් කරගත් බවද ඔහු සඳහන් කළේය.

මියගිය සිවුදෙනාම පිරිමි පුද්ගලයන් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. ග‍ඟේවාඩිය පදිංචිකරුවකු වූ වර්ණකුලසූරිය අන්ටනි නාමල් රන්දික (40) මංගලඑලිය පදිංචිකරුවකු වූ ශිරෝන් සංජීව (42) යන දෙදෙනා මියගිය අය අතර සිටින බව මාරවිල පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

මාරවිල රෝහලට ඇතුළත් කළ පිරිසෙන් දෙදෙනකු හලාවත හා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කැරිණි. තුවාලකරුවන් අතර කාන්තාවන් තිදෙනෙක් (3) ද සිටිති. මෙම බස් රථයේ රියදුරන් දෙදෙනකු ගමන්කර ඇත. එක් අයකු වව්නියාවේ සිට පුත්තලම දක්වා බස් රථය ධාවනය කර තිබේ. අනෙක් රියදුරු පුත්තලමේ සිට බස් රථය ධාවනය කර ඇත. ඔවුන් දෙදෙනා ද අනතුරින් බරපතළ තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් අතර පුත්තලම යුද හමුදා කඳවුරේ සිට නිවාඩු ලැබ ගම්බිම් බලා යමින් සිටි හමුදා සාමාජිකයන් සිව්දෙනෙක් ද (4) සිටි ඇත.

අනතුර සම්බන්ධයෙන් සැකපිට බස් රථය ඒ මොහොතේ ධාවනය කළ රියදුරාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මාරවිල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් මේ අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මාරවිල රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

නව අදහස දක්වන්න