මැතිවරණ වසරක් වුවත් සංවර්ධනයට මුල් තැන දෙන්න | දිනමිණ

මැතිවරණ වසරක් වුවත් සංවර්ධනයට මුල් තැන දෙන්න

මහින්ද අලුත්ගෙදර ගම්පහ සිට

මේ වසර මැතිවරණ වර්ෂයක් වුවද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට රටේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

මැතිවරණ වර්ෂයක් යැයි පවසා ඡන්ද දෙස බලා කවුද ආණ්ඩුවේ ඉන්නේ, කුමක් ද වෙන්නේ කියා බලා සිටින්නේ නම් රටේ සංවර්ධන කටයුතු අඩාල වන බව පෙන්වා දෙන ඒ මහතා අද වනවිට අපේ රටේ ආර්ථික සංවර්ධන වේගය විශාල පසුබෑමක තිබෙන බවද, මේ හේතුවෙන් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මේ වසරේ දී විශාල කැපකිරීමක් අවශ්‍ය වන බවද කීවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගම්පහ, හෙනේගම ගෝල්ඩන් රීච් හෝටලයේ දී ඊයේ (18) පැවැති ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අමතමිනි.

එළඹෙන 2030 පමණ වනවිට දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කෙරෙන අතර අධ්‍යාපනය, සෞඛ්‍ය හා පෝෂණය, රැකියා උත්පාදනය, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ ආයතන ව්‍යුහය ආදී අංශ කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි. දිරිමත්ව, සවිමත්ව, විධිමත්ව සංවිධාන වී දිළිඳු බවින් මිදී දියුණුවේ මාවතට පිළිපන් ශ්‍රී ලාංෙක්ය ජනතාවක් නිර්මාණය කිරීම මෙහි තේමාවයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ ග්‍රාම ශක්ති සතියක් ප්‍රකාශයට පත්කරමින් දිළිඳු ජනතාවට අතදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, ග්‍රාමීය ජනතාවට මෙයින් අත්වන ප්‍රතිලාභ ලබාදීම සඳහා දේශපාලන නායකත්වයේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත්ය.

දුගීබව තුරන් කිරීම සඳහා පසුගිය වසර 50ට වඩා කාලයක් විවිධ රජයන් විවිධ වැඩසටන් කළ බව සිහිපත් කළ ඒ මහතා ඒ වැඩසටහන්වල අත්දැකීම් සමඟ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය නව මුහුණුවරකින් ආරම්භ කළේ සෘජු ලෙසම ගම්වල සිටින දුඟී ජනතාව ඉලක්ක කරගනිමින් බවද කීය. නමින් ග්‍රාම ශක්ති වුවද නාගරික ප්‍රදේශවල ද මෙම ව්‍යාපෘතිය සුදුසු විදියට ක්‍රියාත්මක කිරීම සඳහා අදාල නිලධාරීන්ට වගකීමක් තිබෙන බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ඇමැති ජෝන් අමරතුංග, රාජ්‍ය ඇමැති අජිත් මාන්නපෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, හර්ෂණ රාජකරුණා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය, හිටපු ඇමැති ජෝශප් මහිකල් පෙරේරා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න