තායිලන්තයට ශ්‍රී මහා බෝධි අංකුරයක් | දිනමිණ

තායිලන්තයට ශ්‍රී මහා බෝධි අංකුරයක්

තායිලන්ත 10වන රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යය ලබන මැයි මස පැවැත්වීමට නියමිතව ඇත. රාජාභිෂේකය ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුබාශිංසනය සමඟ උතුම් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කිරීමට කටයුතු කර තිබේ.

මෙම ශ්‍රී මහා බෝධි අංකුරය නවම් පොහොය යෙදී ඇති අද (19) දින බුද්ධශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් අභිනව තායිලන්ත රජු වෙත පිළිගන්වනු ලැබීමට නියමිත අතර තායිලන්තයේ අයෝධ්‍යා නුවර වජිර ධර්මාරාම විහාරයේ බෝධීන් වහන්සේ රෝපණය කිරීමට ද කටයුතු සැලසුම් කර තිබේ.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ථේරවාදී බුදු දහම සුරක්ෂිත කිරීම අරබයා ශ්‍රී ලංකා රජය ගනු ලැබූ සුවිශේෂ පියවරක් ලෙස මෙම අවස්ථාව සනිටුහන් කෙරෙන අතර මෙහි විශේෂත්වය වනුයේ අභිසෙස් ලබන තායිලන්ත රජතුමා වෙත ලැබුණු පළමු රාජ්‍ය තාන්ත්‍රික තිළිණය ද මෙය වීමයි.

මෙම බෝධි අංකුරය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත වැඩම කරවීම ඊයේ (18) අලුයම සිදු කෙරුණු අතර එම බෝධි අංකුරය රැගෙන බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු දූත පිරිස තායිලන්තය බලා පිටත්ව ගියහ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ කටුනායක ගුවන්තොටුපොළේදී මහා සංඝරත්නයත්, ඇමැතිවරයාත් බෝධි අංකුරයට ආගමික වතාවත් සිදුකරන අයුරුයි. මෙම අවස්ථාවට අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස මහානාහිමියෝ සහ තායිලන්ත තානාපතිතුමියද සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න