පො.ප. කපිල අත්අඩංගුවට | දිනමිණ

පො.ප. කපිල අත්අඩංගුවට

විජයානි එදිරිසිංහ

රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරික තරුණයන් දෙදෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18) පස්වරුවේ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්තද සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අතුරුදන්වීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දකුණු පළාතට යවා තිබිණි.

එම නිලධාරීන් විසින් ඉටුකරනු ලබන පරීක්ෂණවලට අනුව මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

එසේම මාතර එලියකන්ද ප්‍රද්ශයේ දී ඔවුන්ව ඝාතනයකර ඇති බවට සැක කළ හැකි තොරතුරු රැසක් ද අනාවරණය කරගෙන තිබේ. තරුණයන් දෙදෙනා ඝාතනය කර මළ සිරුරුවලට කර ඇත්තේ කුමක්ද යන්න ස්ථිර වශයෙන් අනාවරණය වී නැති වුවත්, සිරුරුවලට කර අැති දේ පිළිබඳ ද විවිධ තොරතුරු ලැබී ඇත. එම තොරතුරු සනාථ කර ගැනීම පිණිස පොලිස් අපරාධ පරීක්ෂණ කණ්ඩායම තවදුරටත් පරීක්ෂණ පවත්වයි. මෙම තරුණයන් දෙදෙනා ආයුධ සම්බන්ධ ප්‍රශ්න කිරීමකට නොව පැහැර ගෙන ගොස් ඇතැයි ද තොරතුරු ලැබී ඇත. මේ අතර මෙම තරුණයන් දෙදෙනා සහ පොලිස් පරීක්ෂකවරයකු අතර මීට පෙර අවස්ථාවක හෝටලයක දී ආරාවුලක් ඇති වී ඇති බවටද තොරතුරු හෙළි වෙයි. මේ ඝාතනය එම ආරාවුලේ කොටසක් විය හැකි බවට ද සැක පළ කරන අතර ඒ පිළිබඳ ද පරීක්ෂණ පවත්වයි.

මේ වන විට දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සහ තවත් අංශවල පොලිස් නිලධාරීන් අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ ඥාතීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කර ඇත. ඊට අමතරව එම විමර්ශන අංශය මෙම ඝාතන සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් සොයා ගෙන තිබේ. එම කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් තවත් සුළු කාලයක දී අත්අඩංගුවට ගැනීමට හැකි වන බවද පොලීසිය විශ්වාස කරයි.

පසුගිය ජනවාරි 23වැනි දින මෙම තරුණයන් දෙදෙනා රතු පැහැති වෑන් රථයකින් සහ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් ප්‍රශ්න කිරීමට යැයි පවසා රැගෙන ගොස් ඇත. පසුව එම තරුණයන් දෙදෙනා රැගෙන ගියේ යැයි කියන දකුණු පළාත් විශේෂ විමර්ශන අංශය වෙත ගොස් විමසු අවස්ථාවේ එහි නිලධාරීන් පවසා ඇත්තේ එවැනි පුද්ගලයන් දෙදෙනකු ඔවුන් රැගෙන ආවේ නැති බවයි.

මෙසේ අතුරුදන්ව තිබුණේ රත්ගම පදිංචි මාළු ව්‍යාපාරිකයකු වූ රසික චින්තක නැමැති තිස් එක් හැවිරිදි තරුණයකු සහ එම පළාතේම කුකුල් මස් ව්‍යාපාරිකයකු වූ තිස්තුන් හැවිරිදි මංජුල අසේල කුමාර නමැති අයයි.

තරුණයන් පැහැර ගෙන ගොස් ඇතැයි කියන වෑන් රථය රත්ගම ව්‍යාපාරකයකුගේ නිවසේ තිබී ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් සොයා ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයා පවසා ඇත්තේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා එම වෑන් රථය සිය මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බව පවසා රැගෙන ගිය බවයි.

මේ තරුණයන් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු පසු දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පරීක්ෂණයක් ද සිදු කර, ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂාණ පැවැත්වීම තවදුරටත් සිදු වෙමින් පැවැතින බවද වාර්තා වෙයි.

‍කෙසේ වෙතත් මෙම ද්විත්ව අතුරුදන්වීම සම්බන්ධයෙන් දකුණු පළාතට ගොස් සිටින විශේෂ රහස් පොලිස් කණ්ඩායම මෙම ඝාතනයේ සුළු මුල සොයා ගෙන ඊට සම්බන්ධ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම අද හෙටම සිදුවනු ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නව අදහස දක්වන්න