විශේෂ කමිටු වාර්තාව හෙට | දිනමිණ

විශේෂ කමිටු වාර්තාව හෙට

දිස්නා මුදලිගේ

පාර්ලිමේන්තුවේ පසුගිය නොවැම්බර් 14, 15 හා 16 දිනවල සිදුවූ සිද්ධියට අදාළ වි‍ෙශ්ෂ පාර්ලිමේන්තු කමිටු වාර්තාව හෙට (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා දිනමිණට ඊයේ (18) පැවැසීය.

කතානායක කරූ ජයසූරිය මහතා විසින් එම කමිටු වාර්තාව හෙට (20) පාර්ලිමේන්තුවේදී සභාගත කිරීමට නියමිත බවද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

මෙම වාර්තාව වරප්‍රසාද කමිටුවට කතානායකවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. ඇමැති තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් වරප්‍රසාද කමිටුව ඉන්පසුව රැස්වේ.

මෙම වරප්‍රසාද කමිටුවේ නිර්දේශ සමඟ නීතිපතිවරයාට කමිටු වාර්තාව යොමුකිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේය.

දසදෙනකුගේ සාමාජිකත්ව තිබෙන වරප්‍රසාද කමිටුව හෙට (20) සවස රැස්වන බවත් එහිදී මෙම කමිටු වාර්තාව පිළිබඳ නිර්දේශ ගනු ඇති බවත් ආනන්ද කුමාරසිරි මහතා අනාවරණය කළේය.

මෙම සිදුවීම් සම්බන්ධව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කඩිනම් කර ඇති බවත්, ස්වාධීනව මෙම පරීක්ෂණ ඉදිරියට යන බවත් නියෝජ්‍ය කතානායකවරයා පෙන්වා දුන්නේය. මෙම වාර්තාවේ පිටපතක් මාධ්‍යයට අනාවරණය වූ බව පැවසූ නියෝජ්‍ය කතානායකවරයා ඊට අනුව මන්ත්‍රීන් 59 දෙනකුට චෝදනා ඇති බවට එම වාර්තාවේ සඳහන් වේ. එම මන්ත්‍රීවරුන්ගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීන් 54 ක් ද එජාප 4 ක් ද, ජවිපෙ 01 ක් ද චෝදනා එල්ල වී ඇත.

බරපතළ ලෙස විනය විරෝධී ලෙස හැසිරුණු මන්ත්‍රීන් හත්දෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගන්නා බවද කතානායක කාර්යාලය සඳහන් කරයි.

ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වරප්‍රසාද පනත හා මහජන දේපළ පනත ය‍ටතේ සිදුකරන බව කතානා යක කාර්යාලය කියයි.

මේ ගැටුම නිසා පාර්ලිමේන්තුවේ දේපළ හානිය රුපියල් ලක්ෂ තුනකට අධික බව ද කතානායක කාර්යාලය කියයි.

මෙම කමිටු වාර්තාව මහජනතාවට බලාගැනීමට හැකිවන ආකාරයට විවෘත කරන බවද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවැසීය.

පොලිස් නිලධාරින්ට පහරදීම් හා මිරිස්කුඩු පහරදීම, ලී පුටුවලින් පහරදීම, පිහි ළඟ තබා පහරදීම, කතානායක පුටුවට වතුර දැමීම, මයික් කැඩීම හා ව්‍යවස්ථා හා අනෙකුත් පොත් විසිකිරීම, පරුෂ වචනයෙන් කෑ ගැසීම, විහිළු ලෙස හැසිරීම, කතානායක පුටුවේ අසුන් ගැනීම වැනි දේ මේ සිදුවීම යටතේ සිදුව ඇති බවද වාර්තාවෙන් හෙළිව ඇති බව ද ආනන්ද කුමාරසිරි කීය.


නව අදහස දක්වන්න