පොලිස් කොමිසමේ සභාපති කොල්ලුරේ | දිනමිණ

පොලිස් කොමිසමේ සභාපති කොල්ලුරේ

ජාතික පොලිස් කොමිස‍ෙම් නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික රාජ්‍ය පරිපාලන නිලධාරියකු වන තිලක් කොල්ලුරේ මහතාව පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව නම්කර තිබේ.

ඊට අමතරව ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ගාමිණී නවරත්න, අශෝක විජේතිලක ඇතුළු තිදෙනකු ද පත්කර ඇත. ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද අනුමැතිය ලැබී ඇතැයි ව්‍යවස්ථා සභා ආරංචි මාර්ග අනුවාරණය කළේය.

වත්මන් ජාතික පොලිස් කොමිසම 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවනු ලැබුවේ 2015 නොවැම්බර් 14වෙනි දාය. වසර 3ක එහි සේවා කාලය 2018 නොවැම්බර් 14වෙනි දායින් අවසන් විය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව සාමාජිකයින් පත්කරන තුරු පවතින කොමිසම අක්‍රීය නොවනු ඇත. ඒ අනුව එතෙක් සිටි සාමාජිකයෝ මෙතෙක් කලක් එහි සේවය කළහ.

ඒ අනුව මෙතෙක් කලක් කොමිසමේ සභාපතිවරයා ලෙස සේවය කරනු ලැබුවේ පී.එච්.මනතුංග මහතාය. ඔහුත් සමග කොමිසමේ මෙතෙක් කලක් සේවයේ නිරතව සිටි හිටපු පොලිස්පතිවරයෙක් වන ෆෑන්ක්ද සිල්වා, ඇන්ටන් ජෙගනාදන් යන සාමාජිකයන්ද ව්‍යවස්ථා සභාව විසින් ඉවත්කර තිබේ. නව සභාපතිවරයෙක් ඇතුළු සාමාජිකයන් තිදෙනෙක් නම් කර ඇත්තේ එම පුරප්පාඩුව පුරවමිණි.

නව සභාපති තිලක් කොල්ලුරේ මහතා කොමිසමේ මෙතෙක් කලක් සාමාජිකයෙක් ලෙස සේවයේ නිරතව සිටියේය. ඊට අමතරව මහාචාර්ය සිරී හෙට්ටිගේ, සාවිත්‍රි විජේසේකර, වයි.එම්. එල්. තවාහීර් යන සාමාජිකයන්ගේද සේවා කාලය තවත් වසර තුනකට දීර්ඝ කර ඇත. ජාතික පොලිස් කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් 7දෙනෙක් සේවයේ නිරතව සිටිති.


නව අදහස දක්වන්න