තැන්පතු කරුවන්ගේ යහපතට දැඩි තීරණ | දිනමිණ

තැන්පතු කරුවන්ගේ යහපතට දැඩි තීරණ

ජයසිරි මුණසිංහ

උග්‍ර ද්‍රවශීලතා අර්බුදයට මුහුණ දී සිටින “ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී.” ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා එහි කටයුතු දැඩිව නියාමනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කොට තිබේ.

ද ෆිනෑන්ස් කම්පැනි ආයතනයේ අසතුටුදායක මූල්‍ය කාර්ය සාධනයෙන් මිදී එහි ගනුදෙනුකරුවන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා මුදල් මණ්ඩලය ඉකුත්දා පැවැති රැස්වීමෙන් පසු මේ තීරණය ගත් බව මහ බැංකුව පවසයි.

ඒ අනුව නව තැන්පතු භාර ගැනීම අත්හිටුවීම, කල්පිරෙන තැන්පතු ආපසු සීමාකිරීම, ආයතනය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් ණය ප්‍රදානය සීමා කිරීමට මුදල් මණ්ඩලය තීරණය කොට ඇත.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී. ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත්ව තිබූ සමාගම් සමූහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදුවූ බිඳ වැටීම හේතුකොටගෙන දැඩි බලපෑමකට ලක්විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී. ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක්වූ අතර වර්තමානය වනවිට ඉතා ඉක්මනින් විසඳිය යුතු උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත්ව ඇත. ආයතනය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හඳුනාගැනීම සඳහා අවස්ථා ගණනාවකදී ප්‍රයත්නයන් දැරුවද එම ප්‍රයත්නයන් තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත. ආයතනය වර්තමාන තත්ත්වය යටතේ ක්‍රියාත්මක වීමට ඉඩදීම තුලින් ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ යහපත තවදුරටත් අවම වනු ඇත.

ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී. ආයතනයේ පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2019.02.08 දින පැවති රැස්වීමේදී ආයතනයෙහි තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාවය සහ ශක්තිමත්භාවය තහවුරු කිරීම සඳහාත් කෙටිකාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කිරීමට තීරණය කරන ලදී. යෝජිත නියාමන ක්‍රියාමාර්ග අතර නව තැන්පතු බාරගැනීම අත්හිටුවීම, කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමාකිරීම, ආයතනය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් ණය ප්‍රදානය සීමාකිරීම ආදිය අන්තර්ගත වේ.

 

නව අදහස දක්වන්න