සම්මානය ආස්වාදනීයයි | දිනමිණ


 

සම්මානය ආස්වාදනීයයි

මාලක දේවප්‍රිය

2019 වසරේ රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උලළේ දී හොඳම ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචනය සඳහා හිමි සම්මානය දිනාගත් මාලක දේවප්‍රිය සමඟ කළ සංලාපයකි.

රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උලළේ හොඳම රේඩියෝ නාට්‍ය පිටපත් රචනය සඳහා ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ?

මේ සම්මානය ගැන තුලනාත්මක අදහසක් මට තියෙන්නෙ. ඔබ දන්නවා පසුගිය කාලය තුළ මගේ රේඩියෝ නාට්‍යයවල නම් කිහිපයක් පමණක් පාදක කර ගනිමින් මාධ්‍ය හරහා කරන ලද ආන්දෝලනාත්මක ප්‍රහාරය. මම රචනා කරපු ෙතරුවන්සරණයි, නිහොන් සැප ලැබේවා වගේ රේඩියෝ නාට්‍යයවල නම්වලින් බුදුදහමට අපහාස කරන බවට ප්‍රවාදයක් ජාතිවා දී, ආගම්වා දී, වර්ගවාදී කල්ලි විසින් පටු දේශපාලනික වාසි අත්පත් කරගැනීම සඳහා මතු කළා. මේ රේඩියෝ නාට්‍ය ව්‍යාපෘතියට විරුද්ධව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බී රිපෝර්ට් එකක් දමා 291(අ) සහ 291(ආ) යන දණ්ඩ නීති සංග්‍රහය වගන්ති යටතේ මේ චෝදනා ගොනුකර තිබුණා. එක් පසෙකින් රාජ්‍ය නිර්මාණකරණය යනු සංවිධානාත්මක අපරාධයක් විදිහට අර්ථ දක්වලා විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන ගමන් එම රාජ්‍යම ගුවන් විදුලි සම්මාන උළෙලේ දී මගේ නාට්‍ය ඇගයීමට ලක් කරලා හොඳම සම්මානයට හිමි සම්මානය ලබා දෙනවා. මේක ඇත්තටම හාස්‍ය ජනක නාට්‍යයක් වගේ. මේ පාර විතරක් නෙමෙයි 2017 පවත්වපු පළමු රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේදීත් හොඳම නාට්‍යට හිමි සම්මානය මට ලැබුණා. දෙවැනි වතාවටත් මේ ආකාරය එය ලබාගැනීම ආස්වාදනීයයි.

ඔබ නාට්‍යවලට යෙදූ නම්වලින් කිසියම් ආගමික සංස්ථාවකට අපහාසයක් වන බව පසුගිය කාලයේ චෝදනා එල්ල වුණේ ඇයි ?

අද මේ රටේ අන්තවාදී කල්ලිවලට අවශ්‍ය කරලා තියෙන්නේ රාජාණ්ඩුවක් බවට මේ රට පත් කරගන්න. ඒ අයගේ උවමනාව වෙන්නේ වැඩවසම් යාන්ත්‍රණයක් ඇති කිරීමයි. ඒ හරහා ගැතිකම් වන්දිභට්ටකම් පක්ෂපාතිකම් මත ගොඩනැගුණ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමයි. එමඟින් දූෂණය භීෂණය මර්ධනය ඇති කිරීම හරහා තමන්ට අවශ්‍ය වරප්‍රසාද භුක්ති විඳීමයි. අද මේ රටේ තියන බහුතර මාධ්‍යයන් ක්‍රියාත්මක වන්නේ මේ න්‍යාය පත්‍රය පදනම් කරගෙන. අද මේ රටේ ජනමාධ්‍ය යනු කළුකඩ ව්‍යාපාරයක් බවට පත් වෙලා. මේවායේ සන්නිවේදන පරමාර්ථ අරමුණු කිසිවක් නැහැ. මගේ නාට්‍ය සඳහා විරෝධයක් ගෙන ආවේ කිසිදු නාට්‍යයක් අහල නෙමෙයි. වචනාර්ථයෙන් නාට්‍යවල නම් පමණයි ඔවුන් මේ සඳහා යොදා ගත්තේ. ඒකෙන්ම පේනව ඔවුන්ගේ වුවමණාව මොකක්ද කියලා.

භාෂාව යනු සංකේත පද්ධතියක්. භාෂාවක සංකේත කිසිදු ආගමික සංස්ථාවකට හෝ පොලීසියට හෝ දේශපාලන කණ්ඩායමකට හෝ වෙනත් කිසිදු පාර්ෂවයකට අයිති දෙයක් නෙමෙයි. ලෝක ඉතිහාසයේ සිට මේ දක්වා කවීයො, කෙටි කතාකරුවෝ, නවකතාකරුවෝ, නාට්‍යකරුවෝ ආදි මෙකී නොකී නිර්මාණකරුවො මේ භාෂාව විවිධාකාරයෙන් පාවිච්චි කරලා ව්‍යංගාර්ථ උපමා ධ්වනිතාර්ථ උපහාස මතුකරනවා. නිර්මාණකරුවො භාෂාව භාවිත කරන්නේ පටු දේශපාලනඥයන්ට නැත්තං පොලිසියට එහෙම නැත්තන් අන්තවාදීන් කල්ලි කණ්ඩායම්වලට ඕන විදියට නෙවෙයි. භාෂාවක් සඳහා කිසිවකුට පේටන්ට් එකක් නෑ. භාෂාවක අර්ථයන් එය යොදාගන්නා සන්දර්භයට සාපේක්ෂව වෙනස් වෙනවා. ජේසු කියන පදය ගත්තොත් යෝවද තම්පව රෝමනු ජේසු කිව්වම එක් අර්ථයකුත් ජේසු දාසන් කිව්වම තවත් අර්ථයකුත් ජේ.සුනිමල් කිව්වම තවත් අර්ථයකුත් ජේසුතුමා කිව්වම තවත් අර්ථයකුත් එනවා. ඒ නිසා භාෂාව ක්‍රියාත්මක වන විද්‍යාත්මක පදනම් ගැන අවබෝධයක් නැති ඔලමොට්ටල පටු අන්තවාදී න්‍යායාචාර්යවරුන් කරන ප්‍රහාරයන් සම්පූර්ණයෙන් මිථ්‍යාවක්.

වර්තමානයේ ඇහෙන රේඩියෝ නාට්‍යය සම්බන්ධව ඔබේ අදහස මොකක්ද?

ලෝකයේ රේඩියෝ නාට්‍යය ස්වර්ණමය යුගය හමුවන්නේ 1950 දශකයෙදි. මේ කාලය රේඩියෝ නාට්‍යය නිර්මාණකරුවන් විසින් කරන ලද නව භාවිතාවන් නිසා ස්වීය අනන්‍යතා ලක්ෂණ සහිත කලාවක් ලෙස ඉදිරියට ආවා. 2019 වෙනකොට ලෝකයේ රේඩියෝ නාට්‍යය කලාව ස්වර්ණමය තත්ත්වය ඉක්මවා ප්ලැටිනම් වැනි තත්ත්වයක් අත්පත් කරගෙන තියෙනවා. බීබීසී ලෝක සේවය හරහා දිනපතා විකාශය වන නාට්‍යවලට ඇහුම්කන් දුන්නොත් මේ බව මනාව තහවුරු කරගන්න පුළුවන්. ඔවුන් නූතන ඩිජිටල් සන්නිවේදනය හා සමපාත වෙමින් නව පර්යේෂණාත්මක ආකෘතිමය තේමාමය හරඹයක් කරමින් විශාල රේඩියෝ නාට්‍යය ප්‍රමාණයක් නිර්මාණය කරනවා. මේව අහන කෝටි ගණනක නිත්‍ය ශ්‍රාවක පිරිසක් ඉන්නවා.

1950 ලාංකීය රේඩියෝ නාට්‍යය කලාව විවේචනයක් ඉදිරිපත් කරමින් පී. වැලිකළ කිව්වේ ලාංකීය නාට්‍ය කලාව තවමත් පවතින්නේ දණගාන අවධියක කියලා. ඒ කතාව කියලා දැන් දශක හතක් ගෙවිලා ගිහින්. දැන් අපි ඉන්නේ එය පිළිසිඳ ගෙනවත් නැති මට්ටමකයි. මේ බව තහවුරු කරගන්න පුළුවන් ලංකාවේ පවතින පෞද්ගලික හා රාජ්‍ය රේඩියෝ නාලිකාවලින් විකාශනය වන නාට්‍ය ලේබලය ඇල වූ වැඩසටහන් ශ්‍රවණය කරාම. මේවා හුදු ලාභය පමණක් අරමුණු කරගනිමින් ඉදිරිපත් කරන බොළඳ ලාභ වාං හෑලිවලින් සමන්විත ව්‍යාපෘති මිස රේඩියෝ නාට්‍යය ලෙස නම් කරන්න අමාරුයි.

රේඩියෝ නාට්‍යය මෙවන් පරිහානිකර තත්ත්වයකට පත් වුණේ කොහොමද?

ලංකාවේ රේඩියෝ නාට්‍ය කලාව ගොඩනැගීම සම්බන්ධව විධිමත් අදහසක් අපිට ලබාගන්න පුළුවන් report on the comission of broadcasting 1953 එකෙන්. නෝර්මන් එඩ්වඩ් වීරසූරියගේ සභාපතීත්වයෙන් මෙහි කරුණු රැසක් ඉස්මතු කළා. “ඒ කාලේ නාට්‍ය විදියට දැක්කේ ග්‍රාම්‍ය විහිළු හා දෙබස් අනුසාරයෙන් නිර්මාණය වූ ඒවා. මේවායේ අශ්ලීල යෙදුම් බහුලව තිබුණා. සමකාලීන ගුවන් විදුලිය තුළ නාට්‍ය පිටපතක ගුණාත්මක බව මැනීමට සුදුසුකම් ලත් පිරිසකගේ හිඟයක් තියෙනවා ඒක එක හේතුවක්. නාට්‍ය නිෂ්පාදනය කරන පිරිස් නිර්මාණාත්මක දක්ෂතා ඇති අය එකතු කර ගැනීම වෙනුවට අධිකාරිත්වයක් හිමි පිරිසට අවකාශ සැලසීම ගැටලූවක්. නාට්‍යවල රංගනයෙන් යුතු බහුතර ශිල්පීන් භාෂාව රංගනය සම්බන්ධ දැනුම මඳ නිසා රංගනය කෘතිම ස්වභාවයක් අරන් තිබෙනවා. නාට්‍ය අංශය වෙත හොඳ පිටපත් ලැබෙන කොට කරන්නේ ආධුනික රංග ශිල්පීන් යොදා නිෂ්පාදනය බාල කිරීමයි. ඒ අනුව මෙවැනි සංස්කෘතියක් ඇති වුණා.” එදා ඔහු රේඩියෝ නාට්‍ය සම්බන්ධව දැක්වු අදහස අදටත් වලංගුයි. එදා වගේම අදත් රේඩියෝ නාට්‍යවල සිට වේදිකා නාට්‍ය, සිනමාව ගොඩනැඟීම සඳහා සංස්කෘතික ප්‍රතිපත්තියක් හැදිල නැහැ. බලයට පත්වන විවිධ ආණ්ඩු පටු දේශපාලනය න්‍යාය පත්‍ර ඔස්සේ තමන්ට වාසිදායක සුබ සාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇරෙන්න වෙන කිසිවක් කරන්නේ නෑ. අනෙක් පැත්තෙන් මේ කලාවන් ගොඩනැංවීම සඳහා දෘෂ්ටිවාදීමය අදහසක් ඔවුන්ට නැහැ. බහුතර නිලධාරීන් ඉන්නේ පටු වාර්ගික ආගමික අන්තවාදී රාමුවල. ඔවුන් යටතේ රටක සංස්කෘතික ප්‍රතිපත්තියක් ගොඩනගන්න ගන්න බෑ. එහෙම හැදෙන්න විදියකුත් නැහැ. මේ නිසා නූතනවාදී නිර්මාණ සංස්කෘතියක් පවත්වාගෙන යන්න හැකියාවකුත් නැහැ.

සංවාදය
රසික කොටුදුරගේ

නව අදහස දක්වන්න