හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයට දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය වැඩිවෙලා | දිනමිණ

හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයට දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය වැඩිවෙලා

ලුණම සමූහ සනත් ගමගේ

හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 300ක පමණ භූමි භාගයක ඉඳි වූ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකාර්ෂණයට අද වන විට පත්වී ඇති බව හම්බන්තොට වියළි කලාපීය ජාතික උද්භිද උද්‍යානයේ කාර්යභාර නිලධාරි සිසිර කුමාර මහතා කීය.

හම්බන්තොට වියළි කලාපීය උද්‍යානය නිර්මාණය කිරීමේ මූලික අදහස වී තිබුනේ වියළි කලාපය තුල ඇති ශාක සංරක්ෂණය හා ශාක සාර ආශ්‍රිත නිෂ්පාදන අධ්‍යයනයට මෙන්ම, වාණිජ මල් වගාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සහය අද වන විට සාර්ථකත්වය කරා ළඟා වී ඇති බවද කීය.

මිරිජ්ජවිල උද්‍යා නයයට පැමිණෙන ඕනෑම අයකුට උද්‍යානයේ ප්‍රධාන පිවිසුමෙන් පසු සිසු උයන, කොහොඹ ගස් වැව, කාර්යාල පිවිසුම, සමනල උයන, ජල කුලුන, පොදු රාජ්‍ය මණ්ඩලීය කවය, යෝජිත වනාන්තර කවය, ඖෂධ උයන, මලිත්තන් ගස් වැව, වැල් එකතුව, විසිතුරු පඳුරු උයන, මල් වගා අංශය, නිම්න මාවත, ආදී වශයෙන් ක්‍රමවත් වෙන් කිරීම හේතුවෙන් නරඹන්නන්ගේ ආකර්ෂණය වැඩියෙන් මෙම උද්‍යා නයට යොමු වී තිබේ. මෙම උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු හම්බන්තොට නව නගර සංකල්පය මත නගරයේ හරිත තීරුව ආරක්ෂා කර ගැනීම සිදුකර තිබේ.

නිදහසට පෙර ශ්‍රී ලංකාවේ ඉඳිකරන ලද උද්භිද උද්‍යාන ත්‍රිත්වයෙන් පසු ප්‍රථම වරට නිර්මාණය කළ හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්‍යානය හිටපු ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගේ නිර්මාණයක් බව සිසිර කුමාර මහතා කීය.

හිටපු උද්‍යාන කාර්යභාර නිලධාරී සුමිත් ඒකනායක මහතාගේ මෙහෙයවීම මත, 2013 ඔක්තෝබර් මස 14වන දින ශ්‍රී ලංකාවේ දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලිය නායක සමුළුවට සමඟාමීව හම්බන්තොට මිරිජ්ජවිල උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි.

උද්‍යාන භූමියේ ඖෂධිය ශාක උයන කා අතරත් ජනප්‍රිය උයනක් බවට පත් වී තිබේ. ඖෂධීය ශාක 1400කට ආසන්න සංඛ්‍යාවක් ද, දේශීය වෙදකමට යොදා ගන්නා මෙම ශාක අතුරින් ශාක වර්ග 79 ක් පමණ තර්ජනයට ලක් වී ඇති බව උද්‍යාන අධීක්ෂණ නිලධාරී බුද්ධික දුලාන් මහතා කීය.

වියළි කලාපයට සීමා වූ ශාක වර්ග 460ක් රෝපණය කර තිබෙන අතර. පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායකයන් හම්බන්තොට වියළි කළාපීය උද්‍යානයේ දී සිටුවන ලද සිහිවටන ගස් 52කම අද වන විට ඉතා සාර්තකව වැඩී තිබෙන අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය කවය ලෙස එම කොටස නම් කර තිබේ. මීටර් 160ක පමණ දිග ඉන්දීය විලෝ මාවත මෙහි ඇති ආකර්ෂණීය මාවත ලෙස කා අතරත් ජනප්‍රියත්වයට පත් වී තිබේ. උද්‍යානයේ ප්‍රධාන අංගවලට අමතරව ලංකාවේ වියළි අර්ධ සදාහරිත, ඝර්ම කලාපීය වනාන්තරවල දක්නට ඇති ශාක විශේෂ 105කට අයත් ශාක වර්ග 2000ක් පමණ මෙහි සංවර්ධනය කර ඇත.

සමනල උයනේ සමනල විශේෂ 245ක් දක්නට ලැබෙන අතර ඉන් 26ක් ම ශ්‍රී ලංකාවට ආවේනික සමනලයන් වීම තවත් ලක්ෂණයකි. බැරගම විලෙන් පොම්ප මගින් ලබා ගන්නා ජලය උද්යාකනයේ ටැංකියේ ගබඩා කර උද්‍යානයේ පිහිටා ඇති වැව් තුනක් මගින් උද්‍යානනයට අවශය ජලය අඛණ්ඩව සැපයීම සිදු කිරීම හේතුවෙන් හම්බන්තොට උද්‍යානයට ජල හිඟයක් ඇති නොවන බවද සඳහන් කළ යුතුය.

උද්‍යානය නැරඹීමට පැමිණෙන පිරිස් සඳහා ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයේ. එසේම දැනුවත් කිරීමේ වැඩ මුළුද සංවිධානකර ඇත.


නව අදහස දක්වන්න