“ගින්නෙන්” උපන් සිනමාව... | දිනමිණ

“ගින්නෙන්” උපන් සිනමාව...

පුඩලුඔය ඩන්සිනන් වතුයායේ ව්‍යාපාරික එලියස් ප්‍රනාන්දු වූ ඔහු තවත් විටෙක බෙරගලට නුදුරු වලහන්තැන්නේ පදිංචි අත්තනායක මැණික් මුදලාලි විය. උලපනේ ශාන්ත මේරි වතුයායේ දී ඔහු තවත් විටෙක දී අත්තනායක නම් වූ වැවිලිකරුවෙකි. ඒ කෙසේ නමුත් සැබෑ ලෙසම කලක් මෙරට දේශපාලන පොරපිටියේ වඩ වඩාත් කතා බහට ලක්වූ ගිනියම් වූ දේශපාන චරිතයක්ව ගිණියම් වූ දේශපානය තුළම දැවී අලූවී ගිය ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දුන්, එහි නිර්මාතෘවූ රෝහණ විජේවීරයි. දියණිවරුන් හතරකින් සහ පුතෙකුගේ දයාබර පියෙකුද වූ ඔහුගේ ගිණියම් වූ දේශපාලන දිවිය තුළ 1977- 1989 දක්වා කාලවකවානුව ඔස්සේ ප්‍රවීණ සිනමාකරු අනුරුද්ධ ජයසිංහ විසින් නිර්මාණය කරන ලද ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටය ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සාර්ථකව තිරගත වෙයි. මෙම සිනමා පටයෙහි විශේෂත්වය වන්නේ උක්ත ප්‍රධාන භූමිකාව වූ රෝහණ විජේවීරයන් ජීවත්ව සිටිය දී තම දේශපාලන ක්‍රියාදාමයන් සිදු කළ සත්‍ය ස්ථාන බොහොමයක මෙහි රූගත සිදු කිරීමයි. ඉතිහාස කතා ප්‍රථිනිර්මාණය යනු සැබෑම අභියෝගයක් වූවත් එය වඩ වඩාත් තිවුර වන්නේ එම ඉතිහාස කතාවට අදාළ චරිත හා බැඳුනු පුද්ගලයින් තවමත් ජීවතුන් අතර සිටිනා බැවිනි.

මෙහි ප්‍රධාන භූමිකාව වූ රෝහණ විජේවීරයන් ගේ චරිතයට පනපොවනුයේ අප අතර සිටින විශිෂ්ට රංගධරයකු වන කමල් අද්දරආරච්චි විසිනි. ඔහුගේ රංගනය මේ වන විට ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් අතර දැඩි කතාබහට ලක්ව ඇත. සැබැවින්ම ඔහු තම චරිතය තුළ කමල් මතු නොවී තම නිසඟ හැකියාව තුළින් උක්ත චරිතය ප්‍රථිනිර්මානය කර ප්‍රේක්ෂකයාගේ මනස තුළ විජේවීරයන් ජීවමාන කරන අයුරු පැසසිය යුතුය.

‘‘ඇත්තටම රෝහණ විජේවීර කියන්නේ අප කව්රුත් දන්න චරිතයක්. ඔහු ගැන ඇසූ දුටු සහ ඔහුත් සමඟ දේශපාලන කටයතු කළ අය පවා අදටත් ජීවමානවම අප අතර, සමාජයේ විවිධ තැන්වල සිටිනවා. ඒ නිසා මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට සිතීම පවා අභියෝගයක් වුණා. මෙහි තිර පිටපත ලියූ ආරියවංශ ධම්මගේම තමයි ගින්නෙන් උපන් සීතල යැයි නම යෙදුවේත්. රෝහණ විජේවීරයන්ට සම්බන්ධ හැම මූලාශ්‍රයක්ම සොයා යමින් මේ සඳහා අප පුදුම විදිහට මහන්සි වුණා. රෝහණ විජේවීරයන්ගේ චරිතය සඳහා සුදුසුම චරිතය සොයා යාමේ දී කමල් අද්දරආරච්චිට මේ අභියෝගය මා භාරදෙන්නේ ඔහු තුළ ඇති තරු ගුණයත්, කමල්ට මෙවැනි චරිතයක් කිරීමට නිසැකවම ඇති හැකියාව ගැන මා තුළ ඔහු ගැන තිබු අසීමිත විශ්වාසයත් නිසායි. කමල් කියන විශිෂ්ට නලූවා විජේවීරයන් තිරය මතට ගෙන ඒමට පුදුමාකාර විදිහට කැපවෙන අයුරු මා මවිතයට පවා පත්කළා. ඔහුට කෘතිම දත් පවා යොදන්න අපට සිදුවුණා. විජේවීරයන්ගේ පෙනුම ලබා ගැනීමට විජේවීර ඇවිදින විදිහ, කතා බහ කරන විදිය, හැසිරෙන විදිහ පවා වීඩියෝ පට නරඹමින් ඔහු චරිතය මනා ලෙස සියුම්ව ගොඩනැගුවා කියා මා විශ්වාස කරනවා. ඒ රංගනය ඇත්තටම විශිෂ්ටයි. ’’

අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ කමල්ගේ රංගනය ගැන එලෙස පවසන අයුරින්ම, කමල් අද්දරආරච්චි නම් වු රංගන ශිල්පියාට විජේවීර චරිතය ප්‍රතිනිර්මාණය කිරීම මොනයම් ආකාරයේ අභියෝගයක් වන්නට ඇතිද ?

‘‘මේ චරිතයට මට කතා කළ විටම මම එක්වරම භාරගත්තත්, තිර පිටපත කියවන විට තමයි මෙහි ඇති බැරූරුම් කම තෙරුණේ.මොකද විජේවීර කියන චරිතය අතීත කතාවක් වුණාට රජ කෙනෙකුගේ චරිතයක් කරනවා වගේ රගපාන්න බැහැ. මොකද ඔහු ගැන වගේම ඔහුගේ රුව කවුරුත් දන්නා දැක පුරුදු කෙනෙක් නිසා. මේ බරපතල කාරණය අභියෝගයක් ලෙස භාරගෙන මා කළේ අධ්‍යක්ෂක තුමන් සමඟ සහ තනිවම විජේවීරයන් ගැන වඩාත් ගැඹුරින් හැදෑරීමයි. ඒ චරිතය සියුම් ලෙස මා හට ග්‍රහණය කළ ගත යුතුව තිබුණා. මම ඒකට වෙහෙස වුණා. වේශ නිරූපණයෙන් පවා මා විජේවීරයන් ලෙස හැඩගැන්වූවත්, විජේවීර කියන චරිතය මා තුළට සැබෑ ලෙසම ආරූඩ වන තුරුම රූපගත කිරීමට පවා මා සහභාගී වුණේ නැහැ. අධ්‍යක්ෂක තුමන් මා වටහා ගෙන ඊට ඉඩ ලබා දීම පැසසිය යුතුයි. ඔහු මට අවස්ථාව ලබා දුන්නා විජේවීරයන් ගේ චරිතය තුළ මට නිදහසේ සැරිසරන්න. ඒ ඔහු තුල මා ගැන තිබූ විශ්වාසය සහ අප අතර ඇති අවබෝධය නිසා වන්නට ඇති.චිත්‍රපටයෙහි විජේවීරයන් සැරි සැරූ ස්ථානවල රූගත කිරීමත්, ඒ චරිතය මට ආරූඩ කර ගැනීමට පහසු වන අයුරින් හැඟීම් ජනිතකරවන්නක් වුණා. චිත්‍රපටය තිරගතවී සති කිහිපයක් යන විට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රථිචාර තුළින් විජේවීරයන්ගේ චරිතය සිනමා පටය ඔස්සේ ප්‍රථිනිර්මාණය කිරීමට මා සාධාරණයක් කර ඇති වගක් හැඟෙනවා.එය රංගන ශිල්පියකු ලෙස ලබන ඉහළම ජයග්‍රහණයක් . ’’

කමල් අද්දරආරච්චි විජේවීරයන්ගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම ගැන තමන්ගේ අදහස වචනවලට පෙරලූවේ එලෙසිනි. 1989 නොවැම්බර් මස 13 දින බොරැල්ල සුසානභූමියේ දී දිවියෙන් සමුගන්නා විට විජේවීරයන්ගේ වයස අවුරුදු 46 කි. ඔහුගේ මරණය තෙක්ම ආපසු හැරී බැලීමේ දී ඒ කතාව දලූලන ගින්නක්මය. ඒ පිළිබදව මතකය අවදිකරන විට දැනෙන හැඟීම ගින්නෙන් උපන් සීතලක්මය. විජේවීරයන් තිරය මත දිග හැරෙද් දී ඒ කමල් වගක් ප්‍රේක්ෂකයාට නොහැ‍ඟෙන තරම් අති ප්‍රබලව කමල් අද්දරආරච්චි තම රංග ප්‍රතිභාව සියුම්ව ඉදිරිපත් කරන අයුරු අගය කළ යුතුය. අවසානයේ විජේවීරයන් හමුදාව මඟින් අත්අඩංගුවට පත්ව තම කුටුම්බයෙන් නික්ම යන දසුන ප්‍රේක්ෂකයා නිතැතින් ප්‍රකම්පනයට පත් කරවයි. ඒ මොහොතේ පසුබිමෙන් නවරත්න ගමගේ සහ උමාරියාගේ ගැඹුරු භාවාත්මක ගායනය ඒ හැඟීම තීව්‍ර කරයි.

අනේ ඝනඳුර සොයා නොම යනු මැනේ....මගේ සිහිනය මරා නොදමනු මැන අනේ....
අහෝ ඝනඳුර සොයා නොමයනු සහෝ.....අපේ සිහිනය මරා නොදමනු සහෝ....

සිතුවම සහ සටහන
දර්ශ කපුගේ

නව අදහස දක්වන්න