සුරක්ෂා සිසු රක්ෂණාවරණය: ඇතැමුන්ගේ වැරදි මතවාදවලට පිළිතුරක් | දිනමිණ

සුරක්ෂා සිසු රක්ෂණාවරණය: ඇතැමුන්ගේ වැරදි මතවාදවලට පිළිතුරක්

සුරක්ෂා සිසු රක්ෂණාවරණයට අදාළව 2018/19 වසර සඳහා රක්ෂණ ආයතන තෝරා ගැනීමේදී අවසන් තීරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ අධ්‍යාපන ඇමැතිවරයාගේ මැදිහත්වීමක් මත සිදුවූවක් නොවන බවත් එය ජනාධිපති ප්‍රසාම්පාදන අභියාචනා මණ්ඩලයේ (PAB) තීරණයක් මත සිදුවූවක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එසේම සුරක්ෂණා රක්ෂණාවරණය යටතේ නියමිත ප්‍රතිලාභ දරුවන්ට නොලැබෙන බවට මතවාදයක් සමාජගත කිරීමට යම් කණ්ඩායමක් සූක්ෂ්ම උත්සාහයක නිරතව සිටින්නේ සිසු දරුවන්, මවුපියන් ඇතුළු ප්‍රතිලාභීන්ගේ අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස් කර තිබියදී වීම කනගාටුවට කරුණක් යැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රක්ෂණ ඉල්ලීම් අයැදුම්පත්‍රය සහ ඊට අදාළ ලිපි විදුහල්පතිවරයාගෙන් සහතික කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇති අතර, ඒ පිළිබඳ සියලුම විදුහල්පතිවරුන්, පළාත් සහ කලාප මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය ‍හා පෝෂණ ශාඛාව කටයුතු කර ඇති බවද සඳහන් කරයි. එසේම එලෙස එක්රැස් කර ගන්නා තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ගිවිසුම්ගත වන රක්ෂණ ආයතනයට ලබා දී ඊට අදාළ ප්‍රතිලාභ දරුවන් වෙත ලබාදීමට අවශ්‍ය සියලු මූලික පියවර අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

තවද, මෙවැනි වටපිටාවක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකපාර්ශ්වීයව අධ්‍යාපන අමාත්‍යාංශයේ කීර්ති නාමයට හානි වන අයුරින් අසත්‍ය ප්‍රචාර සමාජ ගත කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන බවත්, තවදුරටත් අශෝභන ලෙස එවැනි කටයුතුවල නිරත වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සුරක්ෂා සිසු රක්ෂාවරණ වැඩසටහන 2018/19 සඳහා ගිවිසුම්ගතවීම ප්‍රමාදවීම සහ ඇතැම් පාර්ශ්ව ගෙන යන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය ආරම්භ කරනු ලැබුවේ මෙරට හතළිස් පන් ලක්ෂයකට අධික පාසල් දරු දැරියන් වෙනුවෙන් ස්ථිර සෞඛ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙනි. ඊට අමතරව දූ දරුවන්ගේ මවුපියන්ගෙන් කෙනෙකු අහිමිවීමක දී ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා වන්දි මුදලක් ලබාදීමද මේ වැඩපිළිවෙලේ අඩංගු විය. සාමාන්‍ය ලෙඩ රෝග සඳහාද, හදිසි අනතුරුවලදී ඇතිවන ස්ථීර ආබාධ (permanent disability) සහ පාර්ශ්වීය ආබාධ (partial disability) සඳහාද, වෛද්‍ය පරීක්ෂණ, බාහිර ප්‍රතිකාර සහ හදිසි ශල්‍යකර්ම සඳහා ද සුරක්ෂා ආවරණයෙන් අවශ්‍ය මුදල් ගෙවීම අරමුණ විය.

2017/2018 වසරේ එම සේවාව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදු කරන ලද අතර 2017 වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට 2018 වසරේ සැප්තැම්බර් 30 දක්වා අදාළ ගිවිසුම බල පැවැත්වීය. 2018/19 වසර සඳහා තරගකාරී ලංසු කැඳවීමක් යටතේ සිදුකෙරෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා නව රක්ෂණ සැපයුම්කරුවෙකු තෝරා ගන්නාතුරු 2018 නොවැම්බර් මස 30 දක්වා ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එකඟතාව පළ කරන ලදී.

පසුගිය වසරේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ගෙවනු ලැබූ ප්‍රතිලාභ පහත A කොලම යටතේ ද 2019 වසරේ Allianz ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් යෝජිත ප්‍රතිලාභ ගෙවීම් B නැමති කොලමෙහි ද දක්වා ඇත. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව A යටතේ දක්වා ඇති ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් බිලියන 2.7ක් ද Allianz රක්ෂණ සමාගම B කොලම යටතේ දක්වා ඇති යෝජිත ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් බිලියන 1.63 මිලක් ඉදිරිපත් කළේය.

සටහන:

3B: 2019 වර්ෂයේ අලියන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් සපයන රක්ෂණ ආවරණය සිසු දරුවන්ගේ මවුපියන්ගෙන් එක් අයෙකු අහිමි වුවහොත් පවුලේ සිටින සියලුම දරුවනට රුපියල් ලක්ෂ 2ක බැගින් වන්දි ලැබෙනු ඇත. 2018 වර්ෂයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ රක්ෂණ වන්දිය රුපියල් 75,000 කට සීමා කළ අතර, පවුලේ දරුවන් ගණන එක් අ‍යකුට වඩා වැඩි නම් එම රුපියල් 75,000 පවුලේ සියලු දරුවන් වෙත සමසේ බෙදී යා යුතු විය.

1B: 2019 වසර සඳහා කිසිඳු උප සීමාවකින් තොරව එනම් රෝහල් කාමර කුලිය, වෛද්‍ය ගාස්තු, බෙහෙත් ශල්‍යකර්ම ගාස්තු ආදියට හෝ රෝහල්ගතවන වාර ගණන ආදියට කිසිදු සීමාවක් පනවා නොමැත.

1A: 2018 වසරේදී රක්ෂණ සංස්ථාව එක්වරක් රෝහල්ගතවීමක් සඳහා රු.100,000ක උප සීමාවකටද, එම වටිනාකමට යටත්ව කාමර ගාස්තු සඳහා රු.30,000 ක උපසීමාවක්ද, පරීක්ෂණාගාර වියදම් සඳහා රු.40,000ක උපරිම සීමාවක්ද වෛද්‍ය ගාස්තු වශයෙන් රු.30,000ක සීමාවක්ද රජයේ රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීමක දී දිනකට රු.1000ක සීමාවකට යටත්ව උපරිම ව දින 30ක කාලයකට වශයෙන් රුපියල් 30,000ක උපරිම මුදලක්ද, පරීක්ෂණ වාර්තා ආදිය සඳහා වර්ෂයකට රු.10,000 ක උපරිම මුදලක්ද ගෙවන ලදී.

එහිදී පසුගිය වසරේ සුරක්ෂා රක්ෂණාවරණයට අදාළව රජය විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගෙවනු ලැබූ මුදල නැවත විදේශ සමාගමකට ප්‍රතිරක්ෂණය කිරීම හේතුවෙන් රුපියල් බිලියන 2කට අධික මුදලක් රජයට අහිමි වූ බවට මතු වූ මතය සහ රක්ෂණ වන්දි ලබාදීමේදී එම අගය මුළු වාරිකයෙන් 20%කටත් අඩු ප්‍රතිශතයක්ව පැවතීම හේතුවෙන් එම වන්දි ප්‍රතිශත අගය ඉහළ නැංවීම සම්බන්ධව අවධානය යොමු කරමින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මෙවර සුරක්ෂා රක්ෂණාවරණය පිරිනැමීමේදී ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කරන ලදී. එහිදී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි පහත සඳහන් කොන්දේසිය අඩංගු කරන ලදී.

එනම් තෝරාගනු ලබන රක්ෂණ නියෝජිත ආයතනය රජය විසින් ගෙවනු ලබන මුළු රක්ෂණ වාරිකයෙන් 75%කට වඩා ප්‍රතිලාභ දරුවන්ට ගෙවීමට අපොහොසත් වන විටක ගෙවන ලද මුළු වන්දි මුදල මුළු වාරිකයෙන් 75% ත් අතර වෙනස රජයට නැවත ගෙවිය යුතුය යන කොන්දේසිය මෙවර ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් කර තිබුණි. මීට අමතරව 2017/18 වර්ෂයට සාපේක්ෂව සිසු දරුවන් සහ මවුපියන් ඇතුළු භාරකරුවන් වෙත ලබාදෙන ප්‍රතිලාභ ද 2018/19 වර්ෂය සඳහා කැපී පෙනෙන ලෙස වැඩිකිරීමට කටයුතු යොදා තිබුණි.

ඒ අනුව වැය කරන මුදලට සරිලන අයුරින් උපරිම ප්‍රතිලාභ දරුවන් වෙනුවෙන් හිමිකරදීම අරමුණු කරමින් 2018/2019 වර්ෂයන් සඳහා අදාළ නව රක්ෂණ සැපයුම්කරුවකු තෝරා ගැනීමට විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ ලංසු කැඳවීම 2018 ජූලි 26 දින සිට 2018 අගෝස්තු 16 දක්වා සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගන්නා ලදී.

මුදල් අමාත්‍යාංශයේ පෙර අනුමැතිය යටතේ 2018/19 වර්ෂය සඳහා විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමට තීරණය කරනු ලැබූ පසු අදාළ මිල ගණන් කැඳවන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රු. බිලියන 1.85ක ලංසුවක් ඉදිරිපත් කළ අතර Allianz ලංකා රක්ෂණ සමාගම තම ලංසුව ලෙස රු.බි. 1.63 ක් ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ Allianz රක්ෂණ සමාගම ඉදිරිපත් කළ ලංසු මිල සහ අවම වන්දි සීමා පරතරය සැසඳීමේ දී සමස්තයක් ලෙස රජයට අත්වන ලාබය රුපියල් මිලියන 222 කි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 14% ක් පමණ වේ. පසුගිය වසරේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ රක්ෂණය සඳහා රුපියල් බිලියන 2.7 පමණ මුදලක් අය කළ අතර ඒ අනුව රජයට පසුගිය වසර හා සැසඳීමේ දී එය රුපියල් බිලියන 1.12ක අති විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකි විය.

Allianz රක්ෂණ සමාගම ඉදිරිපත් කළ ලංසුවේ ඔවුන් රක්ෂණ වාරිකයෙන් 85%කට වඩා ප්‍රතිලාභ දරුවන්ට ගෙවීමට අපොහොසත් වන්නේ නම් ඇත්ත වශයෙන්ම ගෙවනු ලැබූ වන්දි මුදල හා මුළු රක්ෂණ වාරිකය අතර ඇති වෙනසට සමාන මුදලක් රජයට ගෙවීමට එකඟව තිබුණි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එකඟ වී තිබුණේ 75% ක් ඉතිරි මුදල් පරතරය රජයට නැවත ලබාදීමටය.

මේ අතර 2018/19 වර්ෂය සඳහා සුරක්ෂා රක්ෂණාවරණය ලබාදීම සම්බන්ධව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටී. මේ වෘත්තීය සමිති රජයේ ආයතනයකින් රජයේ ආයතනයකට ම මුදල් ගලායාමෙන් රට තුළ මුදල් ඉතිරිවන බවට කරුණු ඉදිරිපත් කළ ද පසුගිය 2017/18 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සුරක්ෂා රක්ෂණාවරණයට අදාළව රජය විසින් ගෙවූ රුපියල් බිලියන 2.7 මුදලින් 90% ක මුදලක් එනම් බිලියන 2ක පමණ මුදලක් විදේශ රටක ආයතනයක් තුළ ප්‍රතිරක්ෂණය කිරීමෙන් මේ මුදල් විදේශ රටකට ගලාගිය බවට චෝදනා කළේ ද මේ වෘත්තීය සමිති විසින්මය.

රජයේ ආයතන රක්ෂණ ආවරණ ලබාගත යුත්තේ රජය සතු රක්ෂණ ආයතනවලින් පමණක් යනුවෙන් වන 04/2015 මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛය අනුව ඒ සම්බන්ධව මිල ගණන් තීරණය කිරීමේ ඒකාධිකාරී බලයක් රජයේ රක්ෂණ සමාගම් වෙත ලැබී ඇති බවට තර්ක නැගුවද දරුවන්ගේ අධ්‍යාපනය සහ සුබසාධනය වෙනුවෙන් රජය විසින් වැය කරනු ලබන මුදලින් උපරිම ප්‍ර‍යෝජන ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යංශය වෙතින් පෙර අනුමැතිය ගනිමින් සිදුකරන ලද ටෙන්ඩර් කැඳවීම තුළින් ඇති වූ තරඟකාරිත්වය තුළ රජයට පසුගිය වසරේ ගෙවූ මුදල හා සැසඳීමේදී රුපියල් බිලියන 1.1 ට වැඩි මුදලක් ඉතුරු කර ගැනීමටද පසුගිය වසරට වඩා හොඳ රක්ෂණ වන්දි වැඩපිළිවෙළක් දරුදැරියන්ට ලබාදීමට අවශ්‍ය ආයතන ‍තෝරාගැනීමට ද හැකිවිය.

මීට අමතරව මේ වෘත්තීය සමිති විසින් චෝදනා කරන පරිදි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට දීප ව්‍යාප්ත ශාඛා 153ක් තිබියදී Allianz ලංකා රක්ෂණ සමාගම සතුව තිබෙනුයේ ශාඛා 51 පමණක් පවතින බවට වන කරුණ සම්පූර්ණ අසත්‍ය වන අතර Allianz රක්ෂණ සමාගමට දිවයින පුරා ශාඛා 101ක් පවතී. එසේම මෙම වෘත්තීය සමිති පවසන ආකාරයට රක්ෂණවන්දි සඳහා වන උප සීමාවන් Allianz රක්ෂණ සමාගම නිවැරදිව දක්වා නැති බවට ඇති සඳහන ද අසත්‍ය වන අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මිල කැඳවීමේ සඳහන් කොන්දේසි උල්ලංඝනය කරමින් උප සීමා පනවා ඇති බවට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ ප්‍රසම්පාදන අභියාචනා කමිටුව ඉදිරියේ ද තහවුරු වී ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග පෙර කතිකාවක් සිදුකර නැති බවට මේ වෘත්තීය සමිති නගන චෝදනාවද ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන වැටහීමකින් තොරව කරන අසත්‍ය චෝදනාවකි. තරගකාරි මිල ගණන් කැඳවා ටෙන්ඩර් ප්‍රදානයේ දී මිල හෝ සේවා සම්බන්ධව පෙර කතිකාවක් සිදුකරනු ලබන්නේ ටෙන්ඩරය හිමිවන පාර්ශවය සමග පමණක් බව ද මේ වෘත්තීය සමිති වෙත සිහිපත් කරනු කැමැත්තෙමු.

මීට අමතරව සුරක්ෂා යනු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සංකල්පයක් බවට වූ සාවද්‍ය ප්‍රකාශයක් ද මේ වෘත්තීය සමිති සමාජගත කිරීමට අසාර්ථක උත්සාහයක නිරතවන බව පෙනේ. සුරක්ෂා සිසු රක්ෂණාවරණ සංකල්පය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ලද්දක් බව වගකීමෙන් යුතුව අවධාරණය කරනු කැමැත්තෙමු. ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සිදුකරනු ලැබූයේ පසුගිය 2017/18 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 2.7 කට අදාළ ටෙන්ඩරය ලබාගෙන ඊට අදාළ සේවා සැපයීම පමණි.

එසේම මේ වෘත්තීය සමිති සඳහන් කරන තාක්ෂණ කමිටුව සහ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රක්ෂණාවරණය ලබාදීමට නිර්දේශ කළ බවට වන සඳහන ද සම්පූර්ණ අසත්‍යයකි. තාක්ෂණ ඇගයීම් කමිටුව නිර්දේශ කර ඇත්තේ තාක්ෂණික සහ වාණිජ ඇගයීමේ දී ලකුණු 96% ක් ලබාගත් Allianz රක්ෂණ සමාගමට ටෙන්ඩරය පිරිනැමිය යුතු බවයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට තාක්ෂණික සහ වාණිජ ඇගයීමේ දී ලකුණු ලැබී ඇත්තේ 84% කි. එමෙන්ම තාක්ෂණික සහ වානිජ ඇගයීම් (TEC) වාර්තාවේ සාමාජිකයන් සියලු දෙනා විසින් Allianz ලංකා රක්ෂණ සමාගම ඉදිරිපත් කළ ලංසුව තාක්ෂණිකව හා වානිජමය වශයෙන් වඩාත්ම ප්‍රතිචාරාත්මක ලංසුව වශයෙන් සහතිකකොට එහි අඩංගු කොන්දේසි වල අව්‍යාජභාවය තහවුරු කරගැනීමෙන් පසු මේ රක්ෂණාවරණය Allianz ලංකා රක්ෂණ සමාගම වෙත ප්‍රදානය සුදුසු බව නිර්දේශ කර තිබුණි.

කෙසේ වෙතත් රජයේ ආයතනයක් ලෙස සලකා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඉදිරිපත් කරනු ලැබූ තර්කය පදනම් කරගෙන මේ අවස්ථාව අනෙකුත් තරගකාරී ලංසු ඉදිරිපත් කළ ඉල්ලුම්කරුවන්ට අහිමි විය හැකි වෙතැයි යන කරුණ පදනම් කරගනිමින් Allianz රක්ෂණ සමාගම විසින් සුරක්ෂා රක්ෂණාවරණය සම්බන්ධව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් එම කමිටුව වෙත කැඳවා අදාළ ටෙන්ඩර් පටිපාටියද ඇගයීම් ක්‍රමවේදයද පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ ටෙන්ඩරය අවම මිල ගණන් සහ වඩාත් ප්‍රතිචාරාත්මක ලංසුව ඉදිරිපත් කළ Allianz ලංකා රක්ෂණ සමාගම වෙත පිරිනැමීම කළ යුතු බව ප්‍රසම්පාදන අභියාචනා කමිටුව (proe 2018.11.26) දින ඒ සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තාව මගින් නිර්දේශ කර තිබුණි.

ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB – PROCUMENT APEAL BOARD) යනු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් බලාත්මක කරනු ලැබූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ අඩංගු වූ CHAPTER XIX හි 156B අනුව ජාතික ප්‍රසම්පාදන කොමිසම යටතේ පිහිටුවන ලබන ස්වාධීන කමිටුවකි. ජනාධිපතිතුමා විසින් පත්කරනු ලබන ප්‍රසම්පාදන අභියාචනා කමිටුවට සභාපතිවරයකු සහ සාමාජිකයන් පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින්ද එම නාම යෝජනා අනුමත කිරීමෙන් පසුවයි. මෙම කොමිසමේ කාර්යභාර්ය වන්නේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ මඟපෙන්වීම් සාධාරණ සමතුලිත පාරදෘශ්‍ය තරඟකාරී සහ පිරිවැය ඵලදායි ප්‍රතිපත්තියක පිහිටුවීමයි. ඒ යටතේ පිහිටුවන ප්‍රසම්පාදන අභියාචනා කමිටු සඳහා සාමාජිකයන් පත්කිරීම ජාතික ප්‍රසම්පාදන කොමිසමේ නිර්දේශ අනුව ජනාධිපතිතුමා විසින් සිදුකරනු ලැබේ. එම කමිටුව මගින් අදාළ Allianz ලංකා රක්ෂණ සමාගම මේ වසර සඳහා නිර්දේශ කර තිබුණ ද ඔවුන් සමඟ ගිවිසුම්ගත වීම තාවකාලිකව නතර කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිත දැනුම්දීමක් ද කර තිබේ.

ඒ අනුව 2018/19 වසර සඳහා සුරක්ෂා රක්ෂණයට අදාළව රක්ෂණ ආයතනය ‍තෝරාගැනීමේ අවසන් තීරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමක් මත සිදුවූවක් නොවන බවත් එය ජනාධිපති ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ (PAB) තීරණයක් මත සිදුවූවක් බවත් නැවත අවධාරණය කරමු.

මේ අතර සුරක්ෂා රක්ෂණාවරණය යටතේ නියමිත ප්‍රතිලාභ දරුවන්ට නොලැබෙන බවටද මතවාදයක් සමාජගත කිරීමට යම් කණ්ඩායම් සූක්ෂම උත්සාහයක නිරතව සිටින්නේ සිසු දරුවන් මවුපියන් ඇතුළු ප්‍රතිලාභීන්ගේ අදාළ තොරතුරු ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස් කර තිබියදී වීම කනගාටුදායකය. ඒ අනුව රක්ෂණ ඉල්ලීම් අයැදුම්පත්‍රය සහ ඊට අදාළ ලිපි විදුහල්පතිවරයාගෙන් සහතික කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබෙන අතර මේ පිළිබඳ සියලු ම විදුහල්පතිවරුන් පළාත් සහ කලාප මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව කටයුතු කර ඇති බව සඳහන් කළ යුතුය. එලෙස එක්රැස් කරගන්නා තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ගිවිසුම් ගතවන රක්ෂණ ආයතනයට ලබා දී ඊට අදාළ ප්‍රතිලාභ දරුවන් වෙත ලබාදීමට අවශ්‍ය සියලු මූලික පියවර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ගෙන තිබේ.

මෙවන් වටපිටාවක් තුළ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකපාර්ශවීයව අධ්‍යාපන අමාත්‍යාංශයේ කීර්තිනාමයට හානි වන අයුරින් අසත්‍ය ප්‍රචාර සමාජගත කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන අතර තවදුරටත් අශෝභන ලෙස එවැනි කටයුතුවල නිරත වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවද සඳහන් කරනු කැමැත්තෙමු.


නව අදහස දක්වන්න