සහෘද ශ්‍රී ලාංකිකය , | දිනමිණ

සහෘද ශ්‍රී ලාංකිකය ,

ඔබ වෙසෙන්නේ මේ මහ පොළොව මත ඇති ස්වභාවික සුන්දරත්වයෙන් අනූන රටක ය. ලෝන්ලි ප්ලැනට් අඩවිය, 2019 වසර සඳහා, හොඳම සංචාරක ගමනාන්තය ලෙස හැඳින්වූයේ මේ සොඳුරු දිවයිනට ය. එක කලෙක ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිවේ ද මිහිතලය මත ඇති පරාදීසය යැයි කීවේ ද මේ ඔබ උපත ලැබ ජීවත් වන භූමියට ය. කාලයකට ඉහත දි නම් ඔබ බොහෝ දෙනකු පැතුවේ ද නැවත නැවතත්, උපදින ආත්මයක් පාසාත්, මෙහි ම උපදින්නට ය. ඒ උපදින්නට පැතූ බිම සැලකුනේ පුණ්‍ය භූමියක් ලෙස ය. බුදුන් වහන්සේගේ පාද ස්පර්ෂය ද ලද පින් බිමක් ලෙස ය. දෙවියන්ගේ ආශිර්වාද ලැබූ දේශයක් ලෙස ය.

මේ බිමේ මිනිසුන්ට වසර දෙදහස් හයසියයකට ආසන්න වෙමින් පවතින ආඩම්බර ඉතිහාසයක් ද ඇත. වෙන බොහෝ ජාතීන්ට නැතැයි පැවසෙන ඒ ඉතිහාසය ලිඛිත ය. ඒ ඉතිහාසයට අනුව අප අහසින් පමණක් නොව අභ්‍යවකාශයේ ද සැරි සරා ඇත. ඒ සියල්ල සාහිත්‍ය යැයි බැහැර කරන අය සිටියේ වුව ද අදටත් අනුරාධපුරයේ, පොලොන්නරුවේ සහ වෙනත් ස්ථානවල නටබුන්වලින් කියවෙන්නේ අප ප්‍රෞඪ අතීතයක සැබෑ උරුමකරුවන් බව ය.

මේ පින් බිම ගැන ලියවුණු ගීවල ද නිමක් නැත. ඒවා හද පුරා ආඩම්බරයෙන් කරන ගායනාවල ද නිමක් නැත. ඒ සියල්ල ඇතුව ද අපට අද සිදු ව ඇත්තේ, අපට වඩා නොදියුණු ජාතීන් අප පසු කර යද්දී එක තැන ලැගීමට ය.අපට කලකට ඉහත කොරියාව තිබුණේ පැල්පත් සමූහයක් හඳුන්වන්නට ය. දැන් අපට කොරියාව තිබෙන්නේ කීයක් හරි හොයා ගන්නට නැව් නගින්නට ය.

තිත්ත ඇත්ත

මේ සියල්ල සම්බන්ධයෙන් අප කැමති ජාත්‍යන්තරයට ඇඟිල්ල දික් කරන්න ය. මේ අපේ වැරැද්දක් නිසා නොව උන්ගේ කුමන්ත්‍රණයන් නිසා අපට සිදු ව ඇති අභාග්‍යයක් ලෙස දැකීමට ය. ඇත්ත ඊට වෙනස් ය. ඒ තිත්ත ඇත්ත රට දෙස බැලීමෙන්, අප දෙස බැලීමෙන්, අපට දැන ගත හැකි ය.

අප තවමත් කසළ කුණුකූඩයකට දැමීමට දන්නේ නැත. වැසිකිළියක්, ඊළගට එය භාවිතා කරන්නට එන තැනැත්තාට, ඉතිරි කරන්නට දන්නේ නැත.

අසල්වාසින් සමග සහයෝගයෙන් ඉන්නට පවා අප දන්නේ නැත. දිග්ගැස්සුණු යුද්ධයකින් ද වරින් වර ඇති වන ජාතිවාදී කෝලාහලවලින් ද අප පෙන්වා සිටියේ අපේ ඒ චරිතාංගය ය. අපේ වර්තමාන උරුමය මිය ගිය මිනිසුන් පිළිබඳ ස්මරණයන්ගෙන් ද අතුරුදහන් කරවනු ලැබූ මිනිසුන් පිළිබඳ තවමත් නොසිඳුණු අපේක්ෂාවෙන් ද තුවාල ලැබූ හා අතපය අහිමි කරනු ලැබූවන්ගේ අංගවිකල කරනු ලැබූවන්ගේ වේදනාවලින් ද පිරී ඉතිරී තිබෙන්නේ ය.

අපට අනුව පාර තියෙන්නේ උද්ඝෝෂණයේ යෙදීමට ය. කුණු දැමීමට ය. කෙළ ගැසීමට ය. තනිව බදුගෙන ඇතැයි හිතාගෙන වාහන එලවීමට ය. තැනක් නොතැනක් බලා මාරු වීමට ය. මාරු වෙන කෙනකුට ඉඩ නොදී අපට ම වේගයෙන් මාරු වී යෑමට ය. හැම තැන ම ඇත්තේ පුදුම හදිස්සියකි. ඒ මොනවා කරන්න ද කුමක් සඳහා ද යන්න කිසිවෙක් නොදනිති.

පෝලිම් තියෙන්නේ කඩන්න ය. රජයේ දේපළ තියෙන්නේ තම තමන්ගේ පාවිච්චියට ගලවා ගෙන යෑමට ය. නැතිනම් ආතල් ගැනීම උදෙසා විනාශ කර දැමීමට ය. අපට අල්ලා ගැනීමට ය. වැට කොටු ගසා පෞද්ගලික භුක්තියට වෙන් කර ගැනීමට ය.

අපට රස්සාවල් දෙන්නේ පිටරටිනි. ණය දෙන්නේ පිටරටිනි. බොහෝ දෑ කන්න ලැබෙන්නේ ද පිටරටිනි. ආදායම් මාර්ගයක් එන්නේ නම් ඒ ද බොහෝ විට පිටරටිනි. ප්‍රශ්නය එය ම නොවේ. සිංගප්පූරුව පවා වතුර ගෙනෙන්නේ ද පිටරටිනි. ජපානය තමන්ගේ නිෂ්පාදනවලට අවශ්‍ය බොහෝ දේ ගෙනෙන්නේ ද පිටරටිනි. එසේ වුව ද, ඒ හැම රටකටම පිටරටින් ගෙන එන දේට හිලව්වට දෙන්නට බොහෝ දේ තිබේ. අපේ ප්‍රශ්නය අප ලබා ගන්නා දේ තරමට දෙන්නට දෙයක් අපට නැති වීම ය. ප්‍රතිඵලය ඩොලරය හැම දා ඉහළ යෑම ය. 1970 දී රුපියල් පහළොවක් තරම් වූ එය, මේ වනවිට රු. එකසිය අසූවකටත් වඩා ඉහළ ගොස් තිබීම ය. පහළ යෑමට මිසක ඉහළ යෑමට නොදන්නා රුපියලක අප උරුමකරුවන් වීම ය.

ඇවිදින්නට හරි හමන් පාරක් නැතත් මහපාර දිගේ වාහන නම් යන්නේ ඇවිදින ගමනකි. ඒ කියන්නේ ඒවා අත් කරගන්නේ පැයට කිමී 8 ක වේගයක් පමණක් බව ය. වාහන ටික ගෙදර තබා කවුරු කවුරුත් බයිසිකල් පැද්දා නම් කාලයත් ඉතිරි කර ගෙන, සෞඛ්‍ය ප්‍රශ්න බොහෝමයක් විසඳී, විදේශ විනිමයත් ඉතිරි කර ගන්නට ඉඩ ඇත්තේ ය. ඒ ඉඩ විතර ය. එහෙම වෙන එකක් නැත. අප අවුල් කර ගැනීමට දක්ෂ ජාතියක් විනා ඒවා නිරවුල් කරගන්නට දන්නේ නැත. වාහන තදබදයක් උද්ගත වී ඇත්තේ රටේ මාර්ග පද්ධතියටත්, ප්‍රවාහන ප්‍රතිපත්තිවලටත්, ප්‍රයිවෙට් බස් කළමනාකරණයටත්, පොදුවේ රටේ වැඩ වෙන හැටියටත්, පින්සිදු වන්නට ය. ඒ සියල්ල පෙන්වන්නේ අපේ නිර්මාණයේ හා සිතීමේ සීමාවන් ය. අහසින් යනවා ඇර මේ පාරවල යන්නට වෙන ක්‍රමයක් නැත. රාවණා කෙනකු අතීතයෙන් ගෙන්වාගත යුත්තේ ඒ නිසා ය. රාවණාගේ පම්පෝරිය මිසක ඒ වැඩ නැති නිසා එහෙම එකක් ගැන ද බලාපොරොත්තු තැබිය නොහැකි ය.

අප කැමති රජ කෙනෙක් ලැබෙනවා නම් ය. එහෙම වුණොත් පෙරහර කරන්නටත්, කිරිබත් උයන්නටත්, අප ලෑස්ති ය. ඒ රජාට ප්‍රශස්ති ගයන්නටත් ඔහුගේ නොපනත්කම් ඉවසන්නටත් අප ලෑස්ති ය. සුද්දා දුන් මේ මල ඉලව් ආයතන ව්‍යුහයෙන් අපට වැඩක් නැත. යුක්තිය අපේ පැත්තට පක්ෂපාත ලෙස විසඳන අපේ කෙනකු රජ වුණා නම් අපට ඒ ඇති ය. ඒ හේතුව නිසා ම, සෙසු උන්ට විරුද්ධව යුද්ධ කරන්නට ඕනෑ වුණොත්, අප ඉදිරිපත් වීම කෙසේ වෙතත්, අල්ලපු ගෙදර මිනිහා චූන් කොට එවන්නට අපට කැප විය හැකි ය.

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියා තුනක් තියෙන්නට ඕනෑ නැත. අපේ ඉතිහාසයේ ඔය ඔක්කොම කළේ රජා ය. වර්තමානයේ මේ තුනම රජාට කරන්නට බැරි නම්, රජා කැමති ගෝලයන් පත් කර ගෙන, රජුට ඕනැ හැටියට කර ගෙන යෑමට පරිසරයක් ඇති කළ යුතු ය. එහෙම නැත්නම් අපේ වුවමනා එපාකම් අපට ඕනෑ හැටියට ඉටු කර ගැනීම බොරු ය.

ජාති හිතෛෂීන්

අපට නීතිය ඕනෑ ය. ඒ අනිත් මිනිසුන් ආණ්ඩු මට්ටු කරන්නට ය. අපට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන එකට නම් අපේ කිසිම කැමැත්තක් නැත. නීතිය විය යුත්තේ අපේ මනාපය ය. ඒ නිසා අප නීතිය කැඩුව අවස්ථාවක වුව ද අපේ නියෝජිතයන් මැදිහත් වී අපව නීතියේ රැහැනින් මුදාගත යුතු ය. නැත්නම් ඊළග මැතිවරණයේ දී ඔවුන් ජය ගන්නවා බොරු ය.

අපට නිදහස ඕනෑ ය. ඒ නිදහස අනිත් මිනිසුන්ට දෙනවාට නම් අපේ වැඩි මනාපයක් නැත. උන් අප මෙන් නොව එය වල්බූරු විදිහට භාවිත කරන නිසා ය. අන් අයට නිදහස දෙන්න හදන අය, වෑයම් කරන්නේ රට උන්ට බාර දෙන්නට ය.

රස්සාව මට හෝ මගේ පුතාට ලැබෙනවා නම් මට හෝ මගේ පුතාට සුදුසුකම් නොතිබ්බාට කමක් නැත. එයින් රටට වැඩක් වනවා ද? නැද්ද? යන්න ද ඒ නිසා අදාළ නැත. අපේ වැඩේ කෙරෙනවා නම් රටට කුමක් වුවත් අපට කමක් නැත. අපේ පක්ෂයකට බලය ලැබෙනවා නම් ඒ සඳහා අප භාවිත කරන අවර ගණයේ උපක්‍රම නිසා, ජාතියට ඉන් අවමානයක් ඇති වුව ද කමක් නැත.

රටට ලොකු ආදරයක් නැත්තේ වුව ද රටේ කොඩියට අප ආදරේ ය. ජාතියට එහෙමට ආදරයක් නැති මුත්, ජාතික ගීයට අප ආදරේ ය. අප රට හා ජාතිය කියන්නේ කොඩිය හා ගීතයට ය. එහෙම බැලුවහම අපත් හොඳ ජාති හිතෛෂීන් ය. දේශප්‍රේමීන් ය.

අප මෛත්‍රිය වඩන්නේ පංසලේ දී ය. අසල්වාසියාට ප්‍රේම කරන්නේ පල්ලියේ දී ය. ඉන් පිටත ඇත්තේ වෛරයත් ක්‍රෝධයත් ය. ජාති වාදී කෝලාහලවල දී ආගමික ගැටුම්වල දී ඒවා අමු අමුවේ එළිපහලියට එන්නේ ය. වැඩි ම විනාශය ගෙනෙන්නේ, දේපළ විනාශ කරමින් ඒවායේ ඇවිල යන, සාමාන්‍ය ගිනි දැල්වලින් නොවේ. මිනිස් බැඳීම් දවාලමින් ඇවිලෙන වෛරයේත් ක්‍රෝධයේත් අසාමාන්‍ය ගිනි දැල්වලිනි.

ධර්මය තියෙන්නේ සාකච්ඡා කර සැක හැර දැන ගන්නට නොවේ ය. අසා අවසානයේ සාදු කාර දීමට ය. ඒ පිනෙන් දෙව් මිනිස් සැප කෙළවර නිවන් දැකීමට ය. ඇත්තෙන්ම අප බණ අසනවාට වඩා කැමති අස්සවන්නට ය.

ආදර්ශය සහ අවවාදය

ආදර්ශයක් දෙනවාට වඩා කැමති අවවාදයක් දීමට ය. ඇහුම්කන් දෙනවාට වඩා කැමති කියවන්නට ය. කරුණාවෙන් කියනවාට වඩා කැමති පොඩි පාට් එකක් දමා ඇට්ටි හැලෙන්නට දෙන්නට ය. විශේෂයෙන් ම අනෙකා තමන්ට වඩා කුඩා නම් ඊට වඩා වෙන විකල්පයක් අපට පේන්නේ ම නැත.

අප සිල් ගන්නවාට වඩා කැමති සිල් රෙද්දක් ඇඳ ඒ බව ලෝකයට පෙන්නන්නට ය. බුදු දහම පිළිපදිනවාට වඩා කැමති කොඩියක් එල්ලා බෞද්ධයකු බව අඟවන්නට ය. ඒ සඳහා අවශ්‍ය වුණොත් කූඩු හදන්නට ය. සරසන්නට ය. පුද පූජා කරන්නට ය. පෙරහර කරන්නට ය. ඒ සියල්ල ඊයේට වඩා හොඳින් කරන්නට ය.

අප කැමති අනුන්ගේ වැරදි හොයන්නට ය. අපේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ ඇති රොඩ්ඩ දැකිමට ය. අපේ අඩව්ව වැරදුණේ පොළොව ඇද නිසා ය. උන්ගේ අඩව්ව වැරදි උන්ගේ අදක්ෂකම නිසා ය. කිසිවක් නොසොයාම ඒ නිගමනයට එළඹීමට අපට ඇත්තේ පුදුම දක්ෂතාවයකි.

අප විශ්වාස කරන්නේ, අප පිරිත් අහන්නට කැමති හා සූදානම් වෙලාවලට, අහළ පහළ නොදරුවන් ද, ලෙඩුන් ද, නින්ද අවශ්‍ය සෙසු අය ද, පසු දින විභාගයන්ට පෙනී සිටින අය ද, වෙනත් ආගමිකයන් ද, නිදි නැතිව පිරිත් අහන්නට සූදානම් විය යුතු බව ය. කැමති විය යුතු බව ය. ඒ මෙය බෞද්ධ රටක් නිසා ය. එහෙම බැරි කෙනකුට තියෙන්නේ වෙන රටකට තොලොංචි වෙලා යන එක ය.

අප යදින්නට දක්ෂ ය. පන්සල් පල්ලි කෝවිල් ඉස්සරහ සිට යාචකයන් යදිද්දී සෙසු අය ඇතුළේ යදිති. වෙනස එක් කණ්ඩායමක් මිනිසුන්ගෙන් යදිද්දී සෙස්සෝ දෙවියන්ගෙන් යැදීම ය. ගස් ගල්වලින් යැදීම ය. වඩා නුවණක්කාර කුමන පාර්ශ්වය දැයි තර්ක කරන්නට අපේක්ෂා නොකළ ද ඔබට එය හිතා ගන්නට බැරි වන එකක් නැත.

මොවුන් මෙසේ යදින්නේ මොනවා ද? එළියේ ඉන්න අය නම් යදින්නේ සල්ලි ය. නැතහොත් දෙවියන්ගේ මල්ලී ය. සමහරු නම් කියන්නේ මල්ලි වුණේ ඉස්සර බව ය. දැන් නම් සල්ලි අයියා ය. ප්‍රශ්නය ගැටලුවක් වන්නේ ඇතුළේ ඉන්නා අය දෙවියන්ගෙන් යදින දේ ගැන ය. ඒ සම්බන්ධයෙන් නම් වඩා ගැළපෙන උත්තරය තවත් ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය නම් ඔවුන් නොයදින්නේ මොනවා ද යන්න ය.

ඇදේට යන අපි

ළගම දේවාලයක් තියෙද්දී, යාචකයන් දෙවියන්ගෙන් නොයැද මිනිසුන්ගෙන් ම යදින්නේ ඇයි ද යන්න ඔබට ඇතිවිය හැකි සාධාරණ ප්‍රශ්නයකි. එහෙත් එවන් ප්‍රශ්න බොහෝ දෙනකුට ඇති වන්නේ නැත. කුඩා කල සිටම ප්‍රශ්න කරන ළමයින්ට තරවටු කිරීම නිසා ම, ගහලා හදන නිසා ම, ලංකාවේ මිනිසුන් කියන ඕනෑම දෙයක් බාර ගන්නවා මිසක කිසිවක් ප්‍රශ්න කරන්නේ නැත.

අප කැමති අල ගෝනි වගේ දරුවන්ට ය. නොසෙල්වෙන දරුවන්ට ය. ඒ අනවශ්‍ය ප්‍රශ්න උන් නොඅසන නිසා පමණක් නොවේ. උන් ආම්බාන් කිරීම ද ලෙහෙසි නිසා ය. උන් වැටෙන්නේ නැත. තුවාල කර ගන්නේ නැත. වෙන කිසිවකුට හානියක් කරන්නේ ද නැත. කාටූන් එකක් දමා පැත්තකට වුනණහම උන් ගැන ආයෙ බලන්නට දෙයක් නැත. ඒ විනයට යටත් කර අප උන්ගෙන් නිර්මාණශීලිත්වය අපේක්ෂා කරන්නෙමු. විචාරශීලී විය යුතු යැයි හිතන්නෙමු. අප ළග ඇති ඒවාවත් ඇති කර ගත හැකි පරිසරයක් හදා දෙන්නේ නැතිව, අප ළග නැති සෙසු චරිතාංග ද උන් වෙතින් අපේක්ෂා කරන්නෙමු. අපි ඇදේට යන ගමන් අපේ පැටවුන්ට කෙළින් යන ලෙස අණ කරන්නෙමු. උන් එසේ යන්නේ නැත. ඒත් අපි දිගටම අපේ අවවාද අනුශාසනාවලින් උන් හෙම්බත් කර දමන්නෙමු. ඊට පසු උන් නෑසු කන් ඇතිව සිටින විට මුන් වගේ අසංවේදී පිරිසක් තවත් නැතැයි චෝදනා ද කරන්නෙමු.

ආශ්චර්යයේ අපේක්ෂා

මේ වද හිංසාවලින් හා අප්‍රමාණ තහංචිවලින් බේරෙන්නට බැරි වූ විට උන් කරන්නේ රට පැනීම ය. එහෙම පැන්නත් තමන්ගේ ඔළුවල තිබෙන කුණු කන්දල්වලින් ගැලවීමට ඔවුන්ට බැරි ය. ඒවා ඉබි යතුරු දමා, ඉවත් කළ නොහැකි ලෙස, උන්ගේ ඔළුවල තැන්පත් කිරිමට අප විසින් වග බලාගෙන ඇති නිසා ය. ඒවා අතර හූනන් කියන සාස්තර ද හඳේ හෙවනැල්ල වන රාහු විසින් සනිටුහන් කරන කැප හා අකැප වෙලාවන් ද ඇතුළු නොඑක් දේ තිබෙන්නේ ය. ඒ ඔක්කොටම අනුව වැඩක් කරන්නට බැරි නිසා, බොහෝ දෙනා කැමති, වැඩ නොකර සිටීමට ය.

. මේ බිමේ කෝටුවක් පසට යට කරත් අල බහින්නේ ය. අවුරුද්ද පුරා අව්ව තිබෙන්නේ ය. වතුර ප්‍රශ්නයක් වන තැනක, වැවක් ද තනා ඇති නිසා, ඉඩමක් ඇතොත් කන බොන දේ වගා කරගත හැකි ය. නැතිනම් ආණ්ඩුවේ ඉඩමක් හෝ රක්ෂිතයක් අල්ලාගෙන හෝ ඒ දේ කළ හැකි ය. වෙනත් ජාතිකයන්ට මෙන් ශීත ඍතුවක් නොමැති වීම නිසා එහෙමකට ඇඳුමක් නැතිවම කුරක්කන් රොටියක් නැත්නම් ගඩා ගෙඩියක් කා දවස ගත කළ හැකි ය. ගෙයක් අවශ්‍ය වන්නේ වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වීමට පමණ ය. ඒ කියන්නේ මුවා වන්නට ගසක් තිබුණත් ඇතැයි කියන එක ය. ඉතින් වැඩිමනත් දෙයක් නොකර දවස ගෙවා දැමිය හැකි ය. මුකුත් නොකර අත්පා අකුලා ගෙන සිටිමට ඊට වඩා පෙලඹවිමක් තිබිය හැකි ද?

එහෙම පුළුවන්කම තියෙද්දීත් සමහරු දඟලන්නෝ ය. ඉහළට නගින්නට නොයෙක් දේ කරන්නෝ ය. උන් අපට පේන්න ම බැරි ය. වැඩි ආශාව දුකට මුල යයි හාමුදුරුවන් ලවා කියවන්නේ වුව ද ඇතැමුන්ට ඒ බණ තේරෙන්නේ නැත.

බොහෝ දෙනෙක් දන් දෙන්නට කැමති ය. බලු කපුටන්ගෙන් පටන් ගෙන යාචකයන් හරහා ලයිස්තුව අවසන් වන්නේ හාමුදුරුවන්ගෙනි. බල්ලන්ට කපුටන්ට දන් දෙන්නේ වටා පිටාවත් කුණු වළක් කරමින් ය. හාමුදුරුවන්ට දන් දෙන්නේ, කෙළෙස් නිවන්නට මහණ වූ අයට කෙළෙස් වඩන්නට සිදු වන පරිද්දෙන්, රස නහර පිනා යන සියල්ල අඩුවක් නැතිව දීමෙන් ය. ඒ හරහා උන්නාන්සේලාට දියවැඩියාව ඇතුළු අතෝරක් රෝග හදන්නට අමතර වශයෙන් අත හිත දීමෙන් ය. අපේක්ෂාව පොදුවේ කාට කුමක් සිදු වුව ද තමන් ගොඩ යෑම ය. පින් සිද්ධ කර ගැනීම ය. මේ ආත්මයට නැතත් ලබන ආත්මයට එකතු කර ගැනීමට ය. ඒ නිසා ම අපේ මේ දානය නිසා, පරිසරය බල්ලාට ගිය ද, හාමුදුරුවන් නියමිත කාලයට කලින් නිවන් සුව ලැබුව ද, අපට ගැටලුවක් නැත.

සහෘද ශ්‍රී ලාංකිකය, අප කවුරු කවුරුත් මෙසේ සිටිය දී රටෙන් පමණක් ඔබ ආශ්චර්යයක් අපේක්ෂා කරන්නේ කෙසේ ද? පළමුව අප වෙනස් විය යුතු ය. ඔබ වෙනස් විය යුතු ය. එවිට ඉතිරිය ඉබේම වෙනස් වෙනු ඇත්තේ ය. ඊට කැප නොවෙනතාක් ආඩපාලි කීමට ඔබට, මට, අයිතියක් නැත.


නව අදහස දක්වන්න