පෝදා ධර්මානුශාසනාව | දිනමිණ

පෝදා ධර්මානුශාසනාව

ශාස්ත්‍රපති වෙළඳගොඩ සෝමින්ද හිමි

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං”

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි,

අද ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් යොදාගන්නේ ධම්ම පදයේ බුද්ධ වග්ගයේ පස්වන ගාථාවයි. තුන් ලොවක් සනසා වදාළ අමාමෑණී වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ඒ තුළින් පැහැදිලි කිරීමට අදහස් කරමි.

එයට පෙර දෙව් මිනිසුන්ගේ ශාස්තෘවරයන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ චරිතාපදානයේත් සම්බුද්ධ ශාසනයේත් ශ්‍රේෂ්ඨතම සංසිද්ධීන් රැසක් සිදුවුණ නවම් පුර පසළොස්වක පො‍හොය දිනයේ වැදගත්කම පිළිබඳ කරුණු කිව යුතුය.

බුදුරජාණන් වහන්සේ වැඩසිටි වේළුවනාරාමය, උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් දහසක් ද, සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් ප්‍රධාන කොටගත් දෙසිය පනහක් භික්ෂූන් වහන්සේද යන එක් දහස් දෙසිය පනහක් මහරහතන් වහන්සේගෙන් සෝභාමත් විය.

ඒ අනුව රජගහනුවර වේළුවනාරාමයට රැස් වූ බුදුරජාණන් වහන්සේ ඇතුළු මෙම ශ්‍රාවක පිරිස බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝ සම්මේලනය පැවැත්වූහ. එම ඓතිහාසික සිදුවීම සිදු වුණේ අද වැනි නවම් පොහොය දිනක දීය.

එමෙන්ම ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ දකුණත් සව් වශයෙන් හා මහාර්ධ්ලාභී මුගලන් මහරහතන් වහන්සේ වමත්සව් වශයෙන් ද අග්‍ර ශ්‍රාවක තනතුරුවලට පත්කර බුද්ධ ශාසනයේ සුදුස්සාට සුදුසුතැන ලබාදීම ආරම්භ වුණේ අද වැනි නවම් පොහොය දිනකයි.

නවම් පුන් පොහොය දින අග්‍රශ්‍රාවක තනතුර ප්‍රදානයෙන් පසුව බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි සඟ පිරිසට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක. බුද්ධත්වයෙන් පසු පළමු වසර විස්ස තුළ ශාසනය පිරිසිදුව නිකැළැල්ව පැවැතුණි. රහතන් වහන්සේලා සුලබ විමුක්තිකාමී ශ්‍රාවකයන් වැඩ සිටි ඒ අවධියෙහි විනය ශික්ෂා පද පැනවීමට කරුණක් හටගත් නොවූ නිසාවෙන් මුල් අවුරුදු විස්ස තුළ ශ්‍රාවකයන්ගේ හික්මීම පිණිස වදාළේ ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. ප්‍රථම අවධියෙහි වැඩ සිටි ශ්‍රාවකයන්ගේ තිබූ නිර්මල විමුක්තිකාමී පාරිශුද්ධ ස්වභාවය ක්‍රමානුකූලව දුර්වල වීම නිසා බුදුරජාණන් වහන්සේ ආනිශංස දහයක් පිණිස විනය ශික්ෂාපද පනවා අඩමසකට වරක් ඒවා දේශනා කරමින් පොහොය කිරීමට අනුදැන වදාළහ. එය ආණා ප්‍රාති‍මෝක්ෂය නමින් හඳුන්වයි.

හැමදාම අපිට සත් පුරුෂ ඇසුර ලැබෙන්නේ නැහැ. හැමදාම මේ සද්ධර්මය අහන්න ලැබෙන්නේත් නැහැ. කිසිම ගුණ දහමක් නැති අසත්පුරුෂ නමින් හඳුන්වන ලෝකයක මේ සසර යන විට අපිට උපදින්න වෙනවා. එම අසත්පුරුෂ ඇසුර ඇසුරු කරන්න වෙනවා. ඒ ඇසුර නිසා සතර අපායට අපිව අනන්තවත් වැටෙන්න පුළුවන්කම තියෙන්නෙ. ඒ නිසා මේ උතුම් පොහොය දින ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛත්වය දෙමින් සද්ධර්මය අවබෝධ කරගැනීම මැනවි. ඒ සඳහා සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය සියලු දෙනාටම හේතු උපනිශ්‍රය වේවා!


නව අදහස දක්වන්න