කෘෂිකර්මයේ නවීකරණය... | දිනමිණ

කෘෂිකර්මයේ නවීකරණය...

අපේ කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වැය කිරීමට රජය තීන්දු කර තිබේ. මෙහි ඉලක්කය වන්නේ ගොවියා හා වෙළෙඳ පොළ අතර පවත්නා සම්බන්ධය දියුණු කොට ගොවි පවුල්වල ආර්ථිකය ශක්තිමත් කරන අතර පාරිභෝගිකයාට සාධනීය සේවයක් ලබාදීම ය. දැනට පවතින තත්ත්වයට අනුව අස්වැන්නෙන් උපරිම ප්‍රතිඵලයක් ලැබීමට ගොවියාට ඉඩ ලැබෙන්නේ නැත. අතරමැදියන් පොහොසත් වන අතර ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනා ම දුකට පත් වෙති. මෙය සිදුවන්නේ වෙළෙඳ පොළ ක්‍රමයේ අඩු-පාඩු නිසා ය. එය වැළැක්වීමට රජය ඉදිරිපත් වෙයි. ඒ අනුව ඉදිරියේ දී කෙළින් ම ගොවියාගෙන් අස්වැන්න මිලට ගැනීමට සමාගම් ඉදිරිපත් වනු ඇත.

අමාත්‍ය පී. හැරිසන් මහතා පෙන්වා දෙන අන්දමට ගොවීන් හා සමාගම් අතර ගිවිසුම් අස්සන් කිරීමක් මේ වනවිටත් සිදුවී ඇත. අප මුලින් සඳහන් කළ අන්දමට වෙළෙඳ පොළ හැසිරීම පිළිබඳ අවබෝධයක් ගොවියාට නැත. එහෙත් සමාගම් ක්‍රියාත්මක වන්නේ අනාගත වෙළෙඳ පොළ සම්බන්ධ වැටහීමක් ද ඇතිව ය. සමාගම් පාඩු ලබන්නට කැමැති නැත. ඒ අනුව පාරිභෝගික සමාජය, කාලය හා ප්‍රවණතා හඳුනාගෙන සමාගම් කටයුතු කරනු ලැබේ. ගොවියා සමාගම් සමඟ ඒකාබද්ධව කටයුතු කරන්නේ නම්; ඔහු ද පරදින්නේ නැත. ඔහුට වගාව අත්හරින්නට සිදුවන්නේ ද නැත. ගිවිසුම් අස්සන් කිරීමෙන් පසු අස්වැන්න පිළිබඳ වගවීමක් සමාගම්වලට ද තිබේ. ඒ අනුව සමාගම් වගාව ගැන සොයා බැලීමට ඉදිරිපත් වෙයි. එය හොඳ තත්ත්වයකි.

ඊශ්‍රායලය වෙළෙඳ පොළ කෘෂිකර්මය සඳහා යොමුවී ඇත්තේ මෑතක දී ය. එහෙත් ලෝක වෙළෙඳ පොළට ඉතා නැවුම් හා පිරිසුදු එළවළු හා පලතුරු අපනයනයට ඊශ්‍රායලය යොමු වී ඇත. එරට කෘෂිකර්මය මුළුමනින්ම පාහේ විදේශීය වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන සිදුවෙයි. අපේ ගොවීන්ට පමණක් නො ව; කෘෂිකර්මයට අදාළ රාජ්‍ය ආයතනවලට පවා විදේශීය වෙළෙඳ පොළ පිළිබඳ වැටහීමක් තිබුණේ නැත. අමාත්‍ය පී. හැරිසන් මහතා ඒ වැටහීම හා දැනුම ආයතන වෙත ලබාදීමට උත්සාහයක් දරයි. එය අපේ කෘෂිකර්මයේ දියුණුවට හේතුවක් වනු ඇත. මීට වසර කිහිපයකට ඉහත දී ඊශ්‍රායලයේ කෘෂිකර්ම උපදේශකයෙක් ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඔහු එදා කියා සිටියේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ ඇති ප්‍රධාන වැරැද්ද වෙළෙඳ පොළ ගැන කිසිදු තක්සේරුවක් නොකිරීම බව ය.

ඉහත විවේචනය සම්පූර්ණ සත්‍යයෙකි. වට්ටක්කා අස්වැන්න නෙළා ගන්නා කාලයට එක්කෝ ඒවා කුණු කොල්ලයට අලෙවි වෙයි. නැතහොත් වන අලින්ගේ කෑම සඳහා කැලයට වීසි කරයි. වට්ටක්කා කාලයට ඒවා දන්සල් දෙන ගොවියෝ ද සිටිති. දෙහි කාලයට, මිරිස් කාලයට පමණක් නො ව; යල මහ කන්නවල දී වී ගොවියාට ද සාධාරණ මිලක් ලැබෙන්නේ නැත. එක්කෝ අතරමැදියෝ ගසා කති. නැතහොත් ගොවි ණය ගෙවූ පසු ගොවියා අත ඉතිරි වන දෙයක් නැත. මේ තත්ත්වය විග්‍රහ කර බලනවිට පෙනී යන්නේ වෙළෙඳ පොළ හැසිරීම පිළිබඳ නිසි වැටහීමක් නැතිකම විශාල පාඩුවක් බව ය. මේ අවබෝධය සමඟ ගොවියාට සහයෝගය ලබාදෙන අවංක ආයතන පැවැතිය යුතු ය. කෘෂිකර්ම අමාත්‍යාවරයා වෑයම් කරන්නේ එබඳු ආයතන ඇති කිරීමට බව පෙනී යයි.

අපේ ග්‍රාමීය ගොවියාගේ ණයගැතිභාවය පිළිබඳ සංවාදය පවතින්නේ දීර්ඝ කාලයක සිට ය. ගොවියන්ගෙ වගා පාළු සඳහා වන්දි ගෙවීමට පමණක් නො ව; ගොවියා ණය වළල්ලෙන් මුදාගැනීම සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කිරීමට ද රජයට සිදුවී ඇත. දිස්ත්‍රික්ක ගණනාවක ක්ෂුද්‍ර ණය ආයතන වෙතින් කාන්තාවන් ලබාගත් ණය මුදල් ගෙවා දැමීමට හා පොලිය ගෙවා දැමීමට රජය මෑතකදීත් විශාල මුදලක් වෙන් කළේ ය. මෙලෙස ලබාගත් ණයවලින් කොටසක් වෙන්කර ඇත්තේ වගා කටයුතු සඳහා ය. එහෙත් නියඟය නිසා ද ගංවතුර නිසා ද බොහෝ ප්‍රදේශවල වගාව මුළුමනින් ම විනාශ වී ඇත. කෘෂිකර්මය සඳහා සහයෝගය ලබාදෙන පෞද්ගලික ආයතන පැවැතියේ නම්; පාඩුවේ බරෙන් කොටසක් එම ආයතන දරනු ඇත.

ශ්‍රී ලංකාව මූලික වශයෙන් කෘෂිකාර්මික රාජ්‍යයෙකි. අපගේ ආර්ථිකයේ වැඩි දායකත්වය කෘෂිකර්මයට අයත් ය. මේ හැරෙන්නට මුළු ජනගහනයේ බහුතරය කුමන හෝ කෘෂිකාර්මික ක්‍රියාවලියක නිරත වෙති. රටේ දේශගුණය, භූවිෂමතාව හා පස වැනි සාධක පවා පිහිටා ඇත්තේ වගාවට හිතකර ලෙස ය. ඉංග්‍රීසිකාරයාගේ පිළිගැනීමට අනුව ගතහොත්; ශ්‍රී ලංකාව යනු වියළි දණ්ඩක් පවා දලුලා වැඩෙන රටකි. මේ හිතකර තත්ත්වයෙන් උපරිම පල නෙළා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ දුරදක්නා සැලැසුම් හා ගොවි සමාජවල කැපවීම් ය. අපේ රටේ ගොවියා කොයි අතින් ගත්ත ද බලවත් කැපවීමක් සහිත ශ්‍රමිකයෙකි. උතුරට ගිය ද, රජරටට ගිය ද, හම්බන්තොට වැනි ප්‍රදේශයකට ගිය ද මේ තත්ත්වය හොඳින් වටහාගත හැකි ය.

අපේ ගොවියා බහුල වශයෙන් යොමුවන්නේ යැපුම් කෘෂිකර්මය වෙත ය. තම පවුලට හා ඥාතීනට අවශ්‍ය තරමට පමණක් අස්වැන්න අපේක්ෂා කිරීම සාම්ප්‍රදායික ගොවියාගේ ඉලක්කය වෙයි. ඉන් එහා වෙළෙඳ පොළක් ගැන කල්පනා කරන ගොවියෝ හිඟ වෙති. කෘෂිකර්මය නිරන්තරයෙන් ම නවීකරණයට ලක්වන බව ලෝක කෘෂිකර්මය දෙස බලනවිට පෙනී යයි. අස්වැන්න වැඩිකර ගැනීම සඳහා අලුත් බීජ නිරන්තරයෙන් ම හඳුන්වා දෙනු ලැබේ. එහෙත් ඒවා ගැන සොයා බැලීමක් අපේ ගොවියාට නැත. නවීන තාක්ෂණය, පළදාව වැඩිකරනු ලබන ක්‍රමවේද හා කාලය අඩුකරන වෙනත් උපායමාර්ග කෙරෙහි යොමුවීමක් ගොවි සමාජ වෙතින් දැකගන්නට නැත. මෙය අපේ කෘෂිකර්මයේ විශාල අඩුවක් ලෙස පවතී. කෘෂිකර්මය උදෙසා නවීන තාක්ෂණය යොදාගැනීමටත්; තමන්ගේ වගා කටයුතු වෙළෙඳ පොළ තත්ත්ව අනුව කළමනාකරණයටත් අපේ ගොවියන් යොමුවිය යුතුව තිබේ.

දියුණු රටවල් දෙස බලනවිට ගොවියා හා පෞද්ගලික අංශය අතර සම්බන්ධය ඉතා හොඳ මට්ටමක පවතින බව පෙනෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ එවැන්නක් දකින්නට නැත. අපේ ගොවියාගේ විශ්වාසය ඇත්තේ රජය කෙරෙහි පමණී. එහෙත් සියල්ල රජයට ඉටුකළ නොහැකිය. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නව වැඩසටහන නිසා අපේ ගොවියා හා පෞද්ගලික අංශය අතර අවබෝධාත්මක විශ්වාසයක් ගොඩනැගෙනු ඇතැ’යි පිළිගත හැකි ය. එය යහපත් ප්‍රවණතාවකි.


නව අදහස දක්වන්න