කොළඹ-භූතාන පාපන්දු ගැටුම අද තුරඟ තරග පිටියේදී | දිනමිණ

කොළඹ-භූතාන පාපන්දු ගැටුම අද තුරඟ තරග පිටියේදී

ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පැවැති මාධ්‍ය හමුවේදී කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයේ නායක චරිත් රත්නායක ප්‍රධාන පුහුණුකරු රුවන් ප්‍රියන්ත මහතා හා කොළඹ පාපන්දු සමාජයේ සභාපති සායිෆ් යූෂුප් මහතා කරුණු දැක්වූ අයුරු.

මේ වසරේ පැවැත්වෙන ආසියා පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියේ මූලික වටයේ පළමු අදියරේ තරගය කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය හා භූතානයේ ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් පිල අතර අද පස්වරු 3.30ට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙයි. මෙහි දෙවන අදියරේ තරගය මේ 27 වැනිදා මේ කණ්ඩායම් දෙක අතර භූතානයේ තිම්පු ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

වසර 2017දී චැම්පියන් ලීග් පාපන්දු ශූරයන්වීම හේතුවෙන් කොළඹ ක්‍රීඩා සමාජය හා භූතානයේ ප්‍රධානතම තරගාවලිය ජය ගැනීම හේතුවෙන් භූතාන ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් කණ්ඩායම මේ මූලික වටයේ තරග සඳහා සුදුසුකම් ලබා ගත්හ.

කණ්ඩායම් දෙකම පළමු අදියරේ තරගය ජය ගැනීමේ අදිටනින් ඊයේ කොළඹ තුරඟ තරග පිටියේ දී පුහුණුවීම් ආරම්භ කළ අතර කණ්ඩායම් දෙකේ නායකයන් හා පුහුණුකරුවන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පැවැති මාධ්‍ය හමුවේදී ජයග්‍රාහී බලාපොරොත්තු පළ කළහ.

කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයේ නිත්‍ය නායක මොහොමඩ් රවුමි අබාධයක් හේතුවෙන් අද තරගයට සහභාගී නොවන අතර ඒ වෙනුවට චරිත් රත්නායක නායකත්වයට නම්කොට ඇත. ආසියානු පාපන්දු රෙගුලාසි අනුව කොළඹ පාපන්දු සමාජයේ පුහුණුකරු සමග රුවන් ප්‍රියන්ත මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස එක්ව සිටී. තම කණ්ඩායම ඉතා හොඳින් පුහුණුවීම් සිදුකොට ඇති බැවින් භූතාන ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් කණ්ඩායමට හොඳ තරගයක් ලබාදෙන බව නායක චරිත් රත්නායක අවධාරණය කළේය.

“මා මෙයට පෙර රෙඩ් ස්ටාර් හා පෙළිකන්ස් කණ්ඩායම්වල නායකත්වය දරා තිබෙනවා. නමුත් මෙය මා නායකත්වය දෙන පළමු ජාත්‍යන්තර තරගයයි. මේක අපේ හෝම් ග්‍රවුන්ඩ් නිසා අපට අමුත්තක් දැනේන්නේ නෑ. ඒක අමතර වාසියක්” නායක චරිත් රත්නායක පැවැසීය. ප්‍රධාන පුහුණුකරු රුවන් ප්‍රියන්ත මහතා සඳහන් කළේ ආරක්ෂක පෙළ හා මැද පෙළ වඩාත් ශක්තිමත් හෙයින් ප්‍රතිවාදීන්ට ගෝල් නොදී තරගයේ වැඩි වාසි ගැනීම තම සැලසුම බවයි. කොළඹ පාපන්දු සමාජ පිල වඩාත් ශක්තිමත් කිරීම උදෙසා නිව්යංග්ස් ක්‍රීඩක ඩස්කන් පුස්ලාස්, යුද හමුදාවේ අශිකූර් රහ්මාන් හා මාතර සිටි පිලේ නයිජීරියානු ක්‍රීජක අබුවී අයිසෑක් එක්ව සිටිති.

ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනකු හා නයිජීරියානු ක්‍රීඩකයන් දෙදෙනකු තම කණ්ඩායම සතු බවත් භූතාන ජාතික පිලේ ක්‍රීඩකයන් පස් දෙනකු තම කණ්ඩායමේ ක්‍රීඩා කරන බවත් ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් කණ්ඩායමේ පුහුණුකරු මැන්බන් ටෙහාබ් මහතා පැවැසීය. “අප පළමු වරට කොළඹදී ක්‍රීඩා කරන්නේ. මෙහි උෂ්ණත්වය අපට යම් තර්ජනයක්. ඒ වගේම අපේ රටේ මේ දිනවල ඉතාම ශීත දේශගුණයක් යටතේ අප පුහුණු වුණේ. අප භූතානයේ ප්‍රධාන පාපන්දු ශූරතාව 7 වතාවක් දිනා තිබෙනවා. අප මැලේසියා හා පාකිස්තාන කණ්ඩායම් පරදවා මෙයට කලින් තරගාවලියක දෙවැනි වටයට පැමිණියා” ටෙහාබ් මහතා සඳහන් කළේය.

ආසියානු පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් 26කින් කණ්ඩායම් 43ක් මේ තරගාවලියට සහභාගීවන අතර මේ මූලික තරග වට දෙකෙන් ජයගන්නා කණ්ඩායම ඉන්දියාවේ මිනර්වා පන්ජාබ්, බංගලාදේශයේ අබාහනි ලිමිටඩ් ඩකා හා නේපාලය මැනෑන්ග් මෑෂ්යන්ග් යන ක්‍රීඩා සමාජ සමඟින් ‘ඊ’ කාණ්ඩයෙන් තරග වැදීමට සිදුවනු ඇත.

භූතාන ට්‍රාන්ස්පෝට් පිලට එරෙහිව තරග බිමට පිවිසෙන කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන්:

චරිත් රත්නායක (නායක), මොහොමඩ් රවුමි, අහමඩ් ෂශ්නී, ඩිලාන් කෞෂාල්, නිරාන් කනිෂ්ක, චලන චමීර, මොහොමඩ් ඉම්රාන් (ගෝල් කීපර්), මොහොමඩ් සෆ්රාන්, මොහොමඩ් සිරාජ්, මොහොමඩ් සර්වාන්, මොහොමඩ් රිෆ්නාස්, මොහොමඩ් ආකිබ්, මොහොමඩ් ෆසාල්, මොහොමදු ෂකීබ් (ගෝල් කීපර්), ඩස්කන් පුස්ලාස්, අශිකූර් රහ්මාන්, අබුවී අයිසෑක්, සුපුන් කවීෂ් ප්‍රනාන්දු (ගෝල් කීපර්), ෆියුරික් මොමස්, බොඩ්රික් දිමිත්‍රි, අෆීල් මොහොමඩ්, මොහොමඩ් රිල්වාන්


නව අදහස දක්වන්න