හෙට ක්‍රිකට් නිලවරණය අද කල් දමයිද...? | දිනමිණ

හෙට ක්‍රිකට් නිලවරණය අද කල් දමයිද...?

මේ මස 21 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය‍, එදිනම පවත්වන්නේද නැද්ද යන්න වන අවසන් තීරණය අද අභියාචනාධිකරණ හමුවේ විභාග වන රිට් පෙත්සම් විභාගය අනුව තීරණය වනු ඇත.

මෙවර ක්‍රිකට් නිලවරණයේ සභාපති ධුරය ඇතුළු තනතුර කීපයකට නාම යෝජනා භාර දී තිබූ මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම මත, ඔවුන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එය අද (20 වැනිදා) දින සලකා බැලීමට නියම කරන ලදී.

සභාපති ධුර අපේක්ෂක මොහාන් ද සිල්වා සහ උප සභාපති ධුරයට තරග වැදීමට නාම යෝජනා භාර දුන් රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් විසින් ගොනු කරන ලද පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, ක්‍රිකට් ආයතන නිසි බලධාරී චූලානන්ද පෙරේරා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කර තිබේ.

මෙහිදී භාර දී තිබෙන පෙත්සමට අනුව තමන් විසින් භාර දී තිබෙන නාම යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බවත්, අදාළ ප්‍රතික්ෂේප කිරීමේදී ඒ පිළිබඳව වූ කිසිම කරුණු පැහැදිළි කිරීමකට තමන්ට අවස්ථාවක් ලබා නොදීම ඒ හා සම්බන්ධ මූලධර්මයන්ට පටහැනි ක්‍රියාවක් බවද සඳහන් කර තිබේ.

මේ තත්ත්වය මත සලකා බලා වග උත්තකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත්, තම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ගනු ලැබූ තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට නියෝග කරන ලෙසත් එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ. තවද මේ පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරුම පෙබරවාරි මස 21 වැනි දින පැවැත්වීමට නියමිතවී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකත් කරන ලෙසද පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව යම් ලෙසකින් අද දිනයේදී මේ පෙත්සම් විභාගය නිමා කිරීමට නොහැකි වුවහොත් බොහෝ විට නිලවරණය කල් දැමෙන ආකාරයේ තීන්දුවක් අභියාචනාධිකරණය විසින් නිකුත් කරනු ඇතැයි නීති විශාරදයන්ගේ මතය වී තිබේ.

චමිල කරවිට


නව අදහස දක්වන්න