පාසල් වයසේ වෙඩික්කරු නව දිල්ලි ලෝක ශූරතාවට | දිනමිණ

පාසල් වයසේ වෙඩික්කරු නව දිල්ලි ලෝක ශූරතාවට

මොනම ක්‍රීඩාවකින් වුවත් රට නියෝජනය කරනවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නොවෙයි. ඒ අතරින් පාසල් යන වයසේ සිටම එවැනි අවස්ථාවක් උදා කර ගැනීමට සමත් වන්නේ එහෙමත් කෙනෙක්. එහෙම අසමසම හැකියාවලින් යුක්ත පිරිස් අපේ රටේ නැතුවාම නොවෙයි. අන්න ඒ වගේ අසමස සම හැකියාවක් ඇති ක්‍රීඩකයෙක් තමයි කොළඹ තර්ස්ටන් විදුහලේ ඉගෙනුම ලබන විදුර පීරිස්. විදුර තවමත් ඉන්නේ 18 වැනි වියේ‍ වුවත්, ජාත්‍යන්තර වෙඩි තැබීමේ සම්මේලනය විසින් අද (20 දා) සිට ලබන 28 වැනිදා දක්වා ඉන්දියාවේ නව දිල්ලිහි පවත්වනු ලබන වෙඩි තැබීමේ ලෝක ශූරතා තරගාවලිය යටතේ මීටර 10 වායු රයිෆල ඉසව්ව නියෝජනය කිරීමට වරම් ලබා තියෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන 16 දෙනෙකුගෙන් සමන්විත වෙඩි තැබීමේ කණ්ඩායමට ඇතුළත් වෙලා ඉන්න එකම ක්‍රීඩකයා වන්නෙත් විදුර. අවසන් වසර 3 දීම මීටර 10 වායු රයිෆල් ඉසව්වේ ජාතික ශූරයා බවට පත්වෙලා ඉන්න විදුරගේ දෙවැනි ජාත්‍යන්තර තරග අත්දැකීම වෙන්නෙත් මේ ලෝක ශූරතා තරගාවලිය. ඔහුගේ පළමු ජාත්‍යන්තර තරග අත්දැකීම වෙලා තියෙන්නේ 2017 වසරෙදි ජර්මනියේ පැවැත්වුණු කනිෂ්ඨ වෙඩි තැබීමේ ලෝක ශූරතා තරගාවලිය.

පාසල් වයසෙදිම මේ වගේ දුරක් එන්න මූලික අඩිතාලම වැටිලා තියෙන්නේ තර්ස්ටන් විදුහලට එන්න කළින් ඔහු අධ්‍යාපනය ලබපු මොරටුව වේල්ස් කුමර විදුහලෙන්. වේල්ස් කුමර විදුහලේ ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය කරන අතරතුර වෙඩි තැබීමේ දක්වන ලද දක්ෂතා හේතුවෙන් 2015 වසරේ පැවැති ජාතික වෙඩි තැබීමේ තරගාවලිය නියෝජනය කිරීමට විදුරට අවස්ථාව උදා වෙනවා. ඒ තරගාවලියෙදි ලකුණු 555.2 ක් හිමි කර ගනිමින් දක්ෂතම වෙඩික්කරු සම්මානයෙන් පිදුම් ලබද්දී විදුරගේ යන්තම් 15 වැනි විය ඉක්මවූවා පමණි. එතැන් පටන් ඇරැඹි විදුරගේ වසර 4 කට ආසන්න ක්‍රීඩා දිවියේ තුළදී මීටර 10 වායු රයිෆල් ඉසව්වේ ජාතික වාර්තාවද තම නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත්වී තිබීමත් ඔහු කෙතරම් දක්ෂයෙක්ද යන්නට හොඳ මිණුම් දණ්ඩක් විදියට යොදා ගන්න පුළුවන්. නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරගාවලියේදී ලකුණු 612 ක් ලබා ගනිමින් එම වාර්තාව තම නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට විදුර සමත්වෙලා. එම දක්ෂතාව ඔහුව නැගී එන තරුණ ක්‍රීඩකයා සම්මානයෙන් පවා පිදුම් ලැබීමට හේතු වෙලා.

විදුරගේ ක්‍රීඩා දිවියට ගුරුහරුකම් ලබා දුන් ගුරුවරුන් අතර පළවැනියා බවට පත්වෙලා තියෙන්නේ වේල්ස් කුමර විදුහලේ හිටපු මංජු ප්‍රනාන්දු මහතා. ඉන් පසුව නාවික හමුදාවේ පුහුණුකරු මර්වින් ද ප්‍රේමලාල් සහ පාසල් පුහුණුකරු නන්දන වීරසිංහ යටතේත් ලද ගුරු හරුකම් අද ඔහු ඇවිල්ලා ඉන්න තැනට වඩාත් ඉවහල් වුණා කියලා තමයි විදුර අපිත් එක්ක කිව්වේ.

චමිල කරවිට


නව අදහස දක්වන්න