නිලවරණය රවීන්ට හා මොහාන්ට තහනම් නැහැ | දිනමිණ

නිලවරණය රවීන්ට හා මොහාන්ට තහනම් නැහැ

හෙට(21) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී මොහාන් ද සිල්වා මහතාට ලේකම් ධූරයටත් රවීන්  වික්‍රමරත්නට උප සභාපති සහ සහකාර ලේකම් ධූරයන්ටත් තරඟ වැදිය හැකි බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද(20) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
 
ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ එහි ලේකම් වෙනුවෙන් පෙනී සිටී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය. 
 
මොහාන් ද සිල්වා මහතා විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තරග වැදීමට නාමයෝජනා ඉදිරිපත් බාරදී ඇති බවත් රවීන් වික්‍රමරත්න උප සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර බවත් පෙත්සම් මගින් පෙන්වාදේ. එම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීන්දු කර ඇතැයි පවසන පෙත්සම්කරුවන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව කියා සිටි. මේ අනුව ප්‍රතික්ෂේප කළ නාමයෝජනා යළි භාර ගෙන නිලවරණයට තරග කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට නියෝගයක් ‍ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කරන මෙන් පෙත්සම් වලින් ඔවුන් ඉල්ලා තිබේ.
 
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද කැදවනු ලැබිණ.
 
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා අධිකරණයට කියා සිටියේ මොහාන් ද සිල්වාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කිරීමට භාරදුන් නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ ද, ඔහුට ලේකම් ධුරයට තරග කිරීමේ බාධාවක් නොමැති බවයි. ඒ අනුව ලේකම් ධූරයට ඔහු භාරදුන් නාමයෝජනා පත්‍රය පිළිගෙන ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දී තිබේ.
රවීන් වික්‍රමරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති සහ නියෝජ්‍ය ලේකම් ධූරයට තරග කිරීමට බාධාවක් නොමැති බවත් ඒ සඳහා ඔහු භාරදුන් නාමයෝජනා භාරගෙන තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් රාජරත්නම් අධිකරණයට දන්වා සිටියේය. 
 
ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණය දැනුම් දුන් එම සමථය සටහන් කරගත් විනිසුරු මඩුල්ල ඒ පිළිබඳව නිලවරණ කමිටුව දැනුවත් කරන ලෙස අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය. අනතුරුව මෙම පෙත්සම් යළි සලකා බැලීම මාර්තු මස 21 වනදාට කල් තැබිණ.

නව අදහස දක්වන්න