ශ්‍රීපාද වන්දනාවේදී මඟ වැටුණු මුදල් පසුම්බිය යළි අයිතිකරුට | දිනමිණ

ශ්‍රීපාද වන්දනාවේදී මඟ වැටුණු මුදල් පසුම්බිය යළි අයිතිකරුට

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවෙකුගේ අස්ථානගතව තිබූ රුපියල් 103000/- (එක් ලක්ෂ තුන්දාහක) මුදලක් සහිත පසුම්බිය නල්ලතන්නිය පොලීසියේ අයිතිකරු වෙත බාර දීමේ පුවතක් වාර්තා වේ.බියගම්පොළ, කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි ආර්.ඩබ්ලිව්.ටී.පුලතිසි රාජපක්ෂ නැමති වන්දනාකරු නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාවේ ගොස් නැවත නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටියදී ගඟුලතැන්න සිද්ධාලේප ආයතනයට ගොස් ගිමන් හැර ඇත. විශ්‍රාම ශාලාවේ දෛනික කටයුතු සොයා බලමින් සිටි සිද්ධාලේප ආයතනයේ, ශ්‍රීපාද කලමණාකරු වන අජිත් දමයන්ත කැකුළාවල මහතාට මේ මුදල් පසුම්බිය හමුවී ඇත. අනතුරුව ඒ මහතා වහා නල්ලතන්නිය පොලීසියට පැමිණ සිද්ධිය පිළිබඳ දැනුම්වත් කිරීමෙන් පැය කීපයකට පසුව පසුම්බියේ අයිතිකරු නල්ලතන්නිය පොලීසියට ඉදිරිපත් වූ බවත්, පසුව අනන්‍යතාව හා මෙතරම් මුදලක් රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණීම සම්බන්ධව තහවුරු කර ගැනීමෙන් අනතුරුව පසුම්බිය නැවත අයිතිකරුට නල්ලතන්නිය පොලීසියේදී බාර දුන් බවත් නල්ලතන්නිය පොලිස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවැසීය.

ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන විට තමන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකතන, ස්වර්ණාභරණ හා වෙනත් වටිණා දේවල් සම්බන්ධව සැලකිළිමත් වන ලෙසත්, විශාල මුදලක් පසුම්බිවල දමා ශ්‍රීපාද වන්දනාවේ නොයෙදෙන ලෙස තමන් සමස්ත වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙහිදී නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය.

මස්කෙළිය සමූහ
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

නව අදහස දක්වන්න