දරුවන් සුරකිමු වැඩසටහනේ ජාතික මෙහෙවර | දිනමිණ

දරුවන් සුරකිමු වැඩසටහනේ ජාතික මෙහෙවර

රටක ජාතික සම්පත් අතර ප්‍රමුඛ වන්නේ දරුවෝය. ළමා කාලය ජීවිතයේ වඩාත්ම තීරණාත්මක අවධියක් ලෙස සැලකෙන්නේ එබැවිනි. මනස පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි මිනිසාගේ පියා වන්නේ දරුවාය. මින් ගම්‍ය වන්නේ යහපත් පුරවැසියෙකු රටට දායාද කරවීමේ කාර්යය ආරම්භ කළ යුත්තේ ළමා වයසින් බවයි.

වාණිජ්‍ය සමාජයත් සමඟ අද අපේ රටේ දරුවන් මුහුණ දී තිබෙන ඉරණම සුබදායී නොවේ. දිනපතා පුවත්පත්වල මෙන්ම විද්යුත් මාධ්‍යවල ද පළ වන බොහෝ පුවත් අපට පෙන්වා දෙන්නේ සමාජයෙන්, වැඩිහිටියන්ගෙන් පමණක් නොව සිය මවුපියන්ගෙන් ද දරුවන්ට මුහුණ දීමට සිදුවන අභාග්‍ය සම්පන්න සිදුවීම්ය.

එසේනම් දැයේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විධිමත් සක්‍රීය වැඩපිළිවෙළක් අවශ්‍යමය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන ආරම්භ කළේ ඒ වෙනුවෙන්ය.

සමාජ විද්‍යාඥයෙකු වූ කාල් මාක්ස් පෙන්වා දුන්නේ දරු පරපුර සුරැකීම රාජ්‍ය පාලකයන්ගේ පරම වගකීම බවයි. වගකීමට එහා ගිය මානුෂීය ක්‍රියාදාමයක් ඔස්සේ දැයේ දරුවන්ගේ ආදරණීය පියෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනට පණ පොවා තිබේ.

සමාජයේ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කරගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන අපයෝජනය, අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම, සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

ජනාධිපතිගේ මඟපෙන්වීම මත මේ විෂයට අදාළ සියලුම ආයතනවල ප්‍රධානීන් හා වෙනත් අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා වට ගණනාවක්ම පවත්වන ලදී. මේවායේදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු අතර ගෘහස්ථ හිංසනය, ලිංගික අපයෝජනය, පෝෂණ හා සෞඛ්‍යමය ගැටලු, මත්ද්‍රව්‍යවලට හා විවිධ අපරාධවලට යොමුවීම, පරිවාස ගතවීම, පවුල් ප්‍රශ්න නිසා අසරණභාවයට පත්වීම හා ආබාධිත තත්ත්වයන් වැනි විවිධ පැතිකඩ විය. තව ද, මේ ගැටලු ක්‍රමවත් පරිදි කඩිනමින් විසඳීම සඳහා වූ ප්‍රතිකර්ම අන්තර්ගත වූ නිශ්චිත කාල රාමුවක් සහිත ක්‍රියාකාරි සැලැස්මක් සකස් කර, වසර තුනකින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයාගේ අදහස විය.

ඒ අනුව ප්‍රතිපත්ති සම්පාදනය, නීති ප්‍රතිසංස්කරණය හා ක්‍රියාත්මක කිරීම, ආයතන ශක්තිමත් කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය, ළමයින්ගේ ශාරිරික සුවතාව දැනුම හා කුසලතා වර්ධනය යන ක්ෂේත්‍ර යටතේ ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන සකස් කර ඇත.

රටක් තිරසාර ප්‍රශස්ත සංවර්ධනයකට ගෙන යා හැක්කේ වඩා ගුණගරුක, යුක්තිගරුක, නීතිගරුක කුසලතා පිරිපුන් සාරධර්ම පිරි ගුණාත්මක පුරවැසියන් ගොඩනැගීමෙන් පමණයි. මේ සඳහා ඉතාමත් වැදගත් විද්‍යාත්මක මතය වන්නේ සමස්තයක් ලෙස පුද්ගලයා සංවර්ධනය කිරීමයි. මේ සඳහා යොදා ගන්නා විද්‍යාත්මක ප්‍රවේශය වන්නේ පුද්ගල පෞරුෂ සංවර්ධනයයි. මේ පෞරුෂ සංවර්ධන ක්‍රියාවලිය මුල් ළමා වියෙන් ආරම්භ කොට විවිධ ළමා සංවර්ධන අවධි ඔස්සේ ක්‍රියාවට නැංවීමෙන් වඩා ඉහළ සාර්ථක ප්‍රතිඵල අත්වන බව ඒ සම්බන්ධව සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණ වාර්තා තහවුරු කරයි.

එබැවින් නූතන තාක්ෂණික දියූණු ලෝකයේ පවතින විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි පෞරුෂයක් සහිත පුරවැසියෙකු ගොඩනගා ගැනීම සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අප හමුවේ ඇති අභියෝගයකි. එම අභියෝගය ජය ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනට සමගාමීව ,අනාගතය දිනන දරුවෝ, පෞරුෂ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පත්කරන ලද විද්වත් කමිටුවක් මගින් මේ ව්‍යාපෘතිය සැලසුම් කිරීම, මෙහෙයවීම සහ අධීක්ෂණය සිදු කරයි. මෙහිදී පෞරුෂය ගොඩනැගීම සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක සංකල්ප සමඟ ස්නායු විද්‍යාව සහ මොළය සම්බන්ධ නූතන විද්‍යාත්මක සංකල්ප සම්බන්ධ කරමින් ස්නායු මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මේ විද්වත් කමිටුවේ විශේෂත්වය වන්නේ ඒ සඳහා විශේෂඥ මනෝ වෛද්‍යවරු, ළමා මානසික රෝග හා නවයොවුන් රෝග පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍යවරු, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, නාරිවේද සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු, ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධ විශේෂඥයන්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, උපදේශනය සහ මනෝ චිකිත්සාව සම්බන්ධ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් වීමයි. මේ කමිටුව විසින් පවත්වන ලද වැඩමුළු සහ සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව දරුවන්ගේ පෞරුෂත්වය ඉහළ නැංවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හා අවශ්‍ය වැඩසටහන් යෝග්‍ය පරිදි සැලසුම් කර තිබේ. එය අධ්‍යාපන, සෞඛ්‍ය හා පරිපාලන ක්ෂේත්‍ර හරහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වෙයි.

ළමා අපයෝජන හා අපහරණ සඳහා ක්‍රියාත්මක වීමේ දී බොහෝ යල්පැනගිය නීති හා රෙගුලාසි හේතුවෙන් එම සිද්ධීන් සම්බන්ධ ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ නොහැකියාවන් මතු වේ. විශේෂයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය හා අයාල ආඥා පනත ඇතුළු ළමයින් හා සම්බන්ධ අණපනත්වල ප්‍රතිපාදන වර්තමාන ළමා අපරාධ සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී ප්‍රමාණවත් නොවන මට්ටමක පවතී. එමෙන්ම වර්තමාන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව ළමයින්ට අයහපත් ආකාරයට බලපාන අවස්ථා බොහොමයක් ද දක්නට ලැබේ. එබැවින් මෙවැනි ක්ෂේත්‍ර සම්බන්ධව නව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පවතී. තවද ළමයින් සම්බන්ධ කටයුතු පිළිබඳ පළාත් සභා ප්‍රඥප්තිවල අවශ්‍ය සංශෝධන සිදු කිරිම, ළමා අපරාධ වාර්තා කිරීමේදී මාධ්‍ය භාවිතය පිළිබඳ චර්යාධර්ම හා රෙගුලාසි සකස් කිරීම හා වින්දිතයන් බවට පත්වන ළමයින්ගේ ඉදිරි අනාගත සුබසිද්ධිය වෙනුවෙන් අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම වැනි කරුණු ද මේ ක්‍රියාකාරි සැලැස්මෙන් ඉටුකර ගැනීමට අපේක්ෂිතය.

දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ 2018 වසරේ විශේෂ කාර්යයන් රැසක් ක්‍රියාත්මක කෙරිණි. දිස්ත්‍රික් මට්ටමින් මේ වැඩසටහන හඳුන්වා දෙමින් දරුවන් සම්බන්ධව පැන නැගී ඇති ගැටළු සඳහා පාර්ශ්වකාරී ආයතන සමඟ ඒකාබද්ධව අවශ්‍ය විසඳුම් ලබාදීමට ඒ අනුව කටයුතු කෙරිණි. එසේම වින්දිත දරුවන් අධිකරණය වෙත ප්‍රවාහනය කිරීම සඳහා පළාත් පරිවාස දෙපාර්තමේන්තු නවය සඳහා වන වාහන 9ක් ලබාදීම, ආබාධ සහිත දරුවන් සිටින පාසල් සඳහා ප්‍රවේශ මාර්ග ඇතුළු අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම ඔවුන්ගේ පවුල් සඳහා ආර්ථික මට්ටම ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ළමා නඩු කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගැනීම මින් ප්‍රධාන තැනක් ගනී.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ මේ වන විට ළමා අපයෝජනය සම්බන්ධව නොවිසඳුණු නඩු 27,000කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇත. මෙලෙස නඩු තින්දු ලැබීමට බොහෝ කාලයක් ගත්වීම නිසා අපයෝජනයට ලක් වූ දරුවන් සම්බන්ධ තීරණ ලැබෙන්නේ ඔවුන් වැඩිහිටියන් ද වූ පසුවයි. එලෙස ළමා කාලයේ අසාධාරණයට ලක් වූ දරුවන් පිළිබඳ නඩු තීන්දු ඔවුන් වැඩිහිටියන් වී විවාහවීමට ආසන්නව ලැබීම තුළ දෙවන වරටත් අසාධාරණයට ලක් වේ. එබැවින් අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කර කඩිනම් අධිකරණ ක්‍රියාවලියක් ඇති කිරීම මේ යටතේ අපේක්ෂා කෙරේ. එමෙන්ම විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසියේ භෞතික සම්පත් සංවර්ධනය ද කඩිනම් අවශ්‍යතාවකි. මේ හා සමගාමීව පළාත් පරිවාස දෙපාර්තමේන්තුවල භෞතික හා මානව සම්පත් ප්‍රවර්ධනය හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අවශ්‍ය සම්පත් ප්‍රවර්ධනය කිරීම දරුවන් සුරකිමු ජාතික වැඩසටහන හරහා සිදු කෙරේ. එමෙන්ම වර්තමාන තරගකාරි ජීවන රටාව තුළ මවුපියන්ගේ කාර්යය බහුලත්වය නිසා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවන ගැටලු අවම කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග, එනම් ළමා උද්‍යාන වැනි පහසුකම් ඇති කිරීමද මේ හරහා සිදු වේ.

ඕනෑම දරුවෙකුගේ ආරක්ෂාවට තර්ජන ඇති වන හා අයහපත් අත්දැකීම් ලැබීමට සිදුවීමේ අවස්ථා ඇති විය හැකි බැවින් ඒවා වැළැක්වීමේ ක්‍රමවේද හා ඒ සඳහා දැනුවත් බව මෙන්ම පෙර සූදානම් සකස් කළ යුතුය. ජීවිතයේ අභියෝගවලට මුහුණදීම සඳහා කුසලතා හා දැනුමෙන් ළමයින් සවිබල ගැන්වීම අවශ්‍ය වේ.

දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මවගේ භූමිකාව හා සමානව පියාගේ දායකත්වය ඉහළ නැංවීමේ ක්‍රියාපිළිවෙත් මේ වැඩසටහන තුළ අන්තර්ගත වේ. දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වැළැක්වීම, දරුවන්ගේ ජීවිත ආරක්ෂක ප්‍රථමාධාර හැකියාවන් වර්ධනය කිරීම හා අපරාධ හා අපයෝජනවලින් ආරක්ෂාවීම සඳහා දරුවන් දැනුවත් කිරීම පිළිබඳව වැඩසටහන් ද මේ ජාතික සැලැස්ම තුළ අන්තර්ගතය. එමෙන්ම දරුවන්ගේ පෞරුෂ වර්ධනය ඇති කිරීම හා ළදරු වියෙහි අත්විඳීමට සිදුවන අහිතකර බලපෑම් වලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා මවුපියන් බලගැන්වීම ද වැදගත් වේ. එමෙන්ම දරුවන්ගේ අනාගත ස්වාධීන පැවැත්වම තහවුරු කිරීම සඳහා ඔවුන් බලගැන්වීම සිදු කළ යුතු වේ. එමෙන්ම ළමා නිවාසවලින් උසස් අධ්‍යාපනය සහ රැකියා සඳහා යොමුවන සිසුන් සඳහා රැකියා අවස්ථා සැලස්විමේ විශේෂ වැඩපිළිවෙළක් ද මේ වැඩසටහන මගින් ක්‍රියාත්මකය.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් අවුරුදු 18 ට අඩු ළමයින්ගේ සංඛ්‍යාව 35 ක් වේ. පාසල් යන ළමයින්ගේ සංඛ්‍යාව වෙන්කරගත් විට එය මුළු ජනගහණයෙන් 20 කට ආසන්න අගයක් ගනී. රජය විසින් සපයනු ලබන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව සහ අනෙකුත් සමාජ ආරක්ෂණ වැඩසටහන්වලින් ළමා ජනගහනයට ඝෘජු ප්‍රතිලාභ අත්වන අතර, ඒ සඳහා වාර්ෂිකව රාජ්‍ය අයවැයෙන් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් පුනරාවර්තන වියදම් ලෙස වෙන් කෙරේ. මෙය දළ ජාතික නිෂ්පාදිතයෙන් 5කට සමාන අගයක් ගනු ලබන අතර, මුළු පුනරාවර්තන වියදමෙන් 34 ක් පමණ වේ. තවද, ළමයින්ගේ යහපත උදෙසා ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති ප්‍රඥප්ති, සම්මුතීන් හා ගිවිසුම් ක්‍රියාවට නැංවීමෙහිලා ශ්‍රී ලංකාව සක්‍රීය ලෙස දායකත්වය සපයා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2015 සැප්තැම්බර් මස 01 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් දක්වා ඇති පරිදි වසර 2020 වන විට ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් ඉහළ මානව සංවර්ධනයක් සහිත රටක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ. එහි එක් පියවරක් ලෙස සමාජීය වශයෙන් අගතියට පත් විවිධ කණ්ඩායම් බල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, මෙහිදී මුළු ජනගහණයෙන් 1/3 ක් පමණ වන ළමයින් පිළිබඳ විශේෂිතභාවයක් දක්වා ඇත.

අනාගත ශ්‍රම බළකායේ ගුණාත්මක බව වර්තමාන ළමා පරපුර මත රඳා පවතින හෙයින්, රජය විසින් දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව ප්‍රමුඛතා පදනමකින් හඳුනාගෙන ඇති අතර, එය රාජ්‍ය ප්‍රතිපත්තියේ එක් වැදගත් මුලධර්මයක් වේ.

තවද, අවශ්‍ය අවස්ථාවන්හි දී ජාත්‍යන්තර ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය, ආගමික සංවිධාන හා වෙනත් ප්‍රජා සංවිධානවල සහයෝගය ලබා ගැනීම සිදු කරයි.

ජනාධිපතිවරයාගේ අපේක්ෂාව අනුව තාක්ෂණයට වහල් වූ හුදකලා දරුවෙකු වෙනුවට, දේශීය සංස්කෘතිය හා සෞන්දර්යය වැළඳගත් සුරක්ෂිත සමාජයක වෙසෙන දරුවෙකු ශ්‍රී ලංකාව තුළ බිහි කිරීමට ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන හරහා පුළුල් කාර්යභාරයක් ඉටු කෙරේ.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු වැදගත් කරුණක් වනුයේ, මේ ජාතික අරමුණු ඉටු කර ගැනීම හුදු ආයතනික හා නීතිමය රාමුවක් තුළ පමණක් සිදු කළ නොහැකි අතර, ඒ සඳහා සමස්ත සමාජයේම කැපවීම හා වගකීම අත්‍යාවශ්‍ය වන බවයි.

සුසන්ති ප්‍රදීපිකා


නව අදහස දක්වන්න