නීති විරෝධී ක්‍රියාවල යෙදීම වැළැක්වීමට සෑම ධීවර යාත්‍රාවකටම සංඥා පද්ධති | දිනමිණ

නීති විරෝධී ක්‍රියාවල යෙදීම වැළැක්වීමට සෑම ධීවර යාත්‍රාවකටම සංඥා පද්ධති

ධීවර වෙස් ගත් පුද්ගලයන් ධීවර යාත්‍රා නීති විරෝධී ක්‍රියාවන්හි යෙදීම වැළැක්වීමට සෑම ධීවර යාත්‍රාවකටම සංඥා පද්ධති සවිකරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා කීය.

මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශයන්හි ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයන් සමඟ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව අවධාරණය කළේය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය. ධීවරයන්ගේ වෙස් ගනිමින් විවිධ දේවල් ක්‍රියාත්මක කරනවා. විශේෂයන්ම මුහුදු මාර්ගවලින් ධිවර බෝට්ටුවලින් මත්ද්‍රව්‍ය රට ඇතුළට ගේන්න ඒ වගේම වෙනත් මගීන්ව රටවල්වලට ප්‍රවාහනය කරන්න ධීවරයන්ගේ මාර්ගයෙන් උපක්‍රම සිදුකරනවා. අපි මේ සම්බන්ධයෙන් දැනටමත් ධීවර දෙපාර්තමේන්තුව සහ ධීවර අමාත්‍යාංශය එකතුවෙලා සෑම බෝට්ටුවකටම සංඥා පද්ධති සවිකරගෙන යනවා. තව යාත‍්‍රා 2500ක විතර ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා නඩුවක් තියෙන නිසා.යාත‍්‍රා 1500ක් විතර සංඥා පද්ධති අලුතෙන් ලබාදෙන්න තියෙනවා. අපි ධීවර අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් කතා කරගෙන යනවා. එවිට අපිට පුළුවන් මහ මුහුදේ ඕනෑම තැනක ධීවර බෝට්ටුවක් තිබුණොත් ඒක ලියාපදිංචි කරලද ,ඒ බෝට්ටුව කොයි ආකාරයෙන් ද හැසිරෙන්නේ, අපේ මුහුදු සීමාව උල්ලංඝණය කරලා යනවානම් ඒ පිළිබඳ සියලු තොරතුරු වාර්තා කර ගන්න පුළුවන්. අපි මේ කටයුත්ත ක්‍රියාත්මක කර තියෙනවා. මං හිතන්නේ ඉස්සරහට ධීවර ජනතාවගේ සහයෝගයක් ලැබුණොත් අපිට ඉතාමත් ඉක්මනින් මේ වගේ රටට මත්ද්‍රව්‍ය ගෙනඒම වගේම මිනිස් ජාවාරම්කරුවන් අල්ලා ගැනීමටත් මේක ඉවහල් වේවි.

රාජාංගණය, අංගමුව, කටියාව, හබරන, කලාවැව, පදවිය, මහකනදරාව, මහවිලච්චිය නියෝජනය කරන ධීවරයින් 24 දෙනෙකු සඳහා ෆයිබර් ඔරු සහ කොල්ලෑ ධීවර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ධීවරයන් 24 දෙනෙකු සඳහා ඇමැතිගේ ප්‍රධානත්වයෙන් පිරිනැමිණි.

ධීවරයන්ට ලබාදුන් එක්ෆයිබර් ඔරුවක් සහ කොල්ලෑවක් සඳහා රජය රු.75,000 ක මුදලක් දරන බවත්, එමගින් එදිනෙදා ලැබෙන අස්වැන්න තීව්‍ර කිරීමට බලාපොරොත්තු වන බවත් දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාපෘති නිලධාරි සිසිත කුමාර මහතා මෙහිදී සඳහන් කළේය.

 


නව අදහස දක්වන්න